අශ්වයා පිටේ උසම කන්ද නැගලා



උතුරු කොරියා නායක කිම් ජොන් උන් අසු පිට නැගී එරට උසම ශිඛරය තරණය කර ඇතැයි උතුරු කොරියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

උතුරු කොරියාවේ උසම ශිඛරය වන්නේ පෙක්ටුය. මෙය මීටර් 2,750 කි. උතුරු කොරියා නායක කිම් ජොන් උන්, සිය ආරක්ෂකයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිවරාගෙන ශිඛරය තරණය කර ඇත්තේ විනෝදයටය.

උතුරු කොරියා නායකයා හිම කබායකින් සැරැසී, අසු පිටින් කඳුකරයේ ගමන් කරන අයුරුත්, ශිඛරය තරණය කරන අයුරුත් දැක්වෙන ඡායාරූප පෙළක් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. එය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනුකරණය කිරීමක් යැයි බොහෝ දෙනකුගේ අදහසය. අසුපිට නැග කඳුකරයේ වික්‍රමවල යෙදෙමින්, එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ විනෝදාංශයකි.

කිම් ජොන් උන් මෙ ශිඛරය තරණය කළ පළමු අවස්ථාව මෙය නොවන බව ද පැවැසෙයි.
කිම් ජොන් උන්ගේ පියා කිම් ජොන් ඉල්ගේ උපන් ගම් පළාත මෙම කඳුකරය ආශ්‍රිතව පිහිටා ඇත. පෙක්ටු ශිඛරය අක්‍රිය වූ ගිනි කන්දකි. වසර 4,000 කට පෙර පළමු කොරියානු රාජධානිය බිහිවූයේ මෙම ශිඛරය කේන්ද්‍රකොට ගනිමින් යැයි ද පැවැසෙයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ මෙම ‘වික්‍රමය’ පිළිබඳ විදෙස් විචාරකයන් පවසා ඇත්තේ නායක කිම් ජොන් උන් ලෝකයේ අවධානය දිනා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවය.

පියොන්යැං (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS