අවිහරණයට සහාය



උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලියට සහයෝගය දීමට ප්‍රංශය සූදානම් යැයි එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසීය.

සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි අත් හරින බවට උතුරු කොරියාව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ එකඟතාවකට ද පැමිණියේය.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් හමුවෙමින් ප්‍රංශ ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය යුරෝපා සංචාරය ආරම්භ කරමින් ප්‍රංශයට පැමිණි අවස්ථාවේදී එලෙස ප්‍රංශ ජනාධිපතිවරයා හමුවිය.

උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් ගෙන ඇති පියවර සවිස්තරාත්මකව පෙන්විය යුතු බවත් සත්‍ය වශයෙන්ම න්‍යෂ්ටික අවි අත් හැරීමට සත්‍ය වශයෙන්ම වුවමනාවක් ඇති බව පෙන්විය යුතු බවත් ප්‍රංශ ජනාධිපතිවරයා කීය.

ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයකු වන අතර න්‍යෂ්ටික බලවතෙක් ද වෙයි. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා දකුණ කොරියාව, උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවැති සාකච්ඡාවලට ප්‍රංශය සෘජුව සම්බන්ධ නොවීය.

හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්)


RECOMMEND POSTS