පෙට්‍රල් ඩීසල් මෝටර් රථ තහනමකට සැරැසෙයි



දිනෙන් දින ඉහළ යන වායු දූෂණයට සහ කාබන් විමෝචනයට පිළියමක් ලෙස පෙට්‍රල් සහ ඩීසල් කාර් සහ වෑන් නිෂ්පාදනය සහ විකණීම නවතා දැමීමට චීනය සූදානම් වෙයි.

ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන්නේ චීනයයි. ඉකුත් වසරේ චීනය නිපදවූ මෝටර් කාර් සංඛ්‍යාව මිලියන 28 කි. එය ගෝලීය මෝටර් රථ නිෂ්පාදනයෙන් තුනෙන් එකක් යැයි ද පැවැසෙයි.

පෙට්‍රල් සහ ඩීසල් කාර් සහ වෑන් නිෂ්පාදනය සහ විකිණීම තහනම් කිරීමේ සැලැස්මක් සකස් කර ඇති නමුත් එය ක්‍රියාත්මක කරන්නේ කවදා සිට ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත කටයුතු සම්බන්ධ නියෝජ්‍ය ඇමැති සින් ගුවෝබින් චීනයේ ෂිංහුවා පුවත් සේවය සමඟ පවසා ඇත.

ඉදිරියේ දී එම මෝටර් රථ භාවිතයෙන් ඉවත් කිරීමට ද චීන බලධාරීහු සූදානම් වෙති. චීනයේ බීජීං අගනුවර ලොව වායු දූෂණය ඉහවහා ගිය නගරයක් ලෙස සැළකෙයි.

මේ වනවිට දිනෙන් දින ඉහළ යන වායු දූෂණය සහ කාබන් විවෝචනය හේතුවෙන් එක්සත් රාජධානියත්, ප්‍රංශයත් ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ භාවිතයෙන් ඉවත් කිරීමට සූදානම් වෙයි. ඒ, 2040 වසරේ සිටය.

මෝටර් රථ දැවැන්තයන් වන රෙනෝල්ට් නිසාන්, ෆෝඞ් සහ ජෙනරල් මෝටර්ස් වැනි මෝටර් රථ නිෂ්පාදන සමාගම් මේ වනවිටත් චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදන කටයුතුවල නියැලී සිටින බව ද වාර්තා වේ.

චීන බලධාරීන් මීට පෙර දන්වා සිටියේ වසර 2025 වෙද්දී, විදුලියෙන් සහ බැටරියෙන් ධාවනය වන මෝටර් රථ වැඩි වැඩියෙන් චීන වෙළෙඳපොළට නිකුත් කරන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS