සිරින්ජර් බිලියනයක් ගබඩා කරනවා



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි සාර්ථක එන්නතක් එළිදැක්වූ සැණින්, එහ ලෝකවාසීන්ට ලබා දීමට, එන්නත් සිරින්ජර් බිලියනයක ප්‍රමාණයක් ගබඩා කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසීය.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆි සංවිධානය පවසා ඇත්තේ තමන් වෙනම එන්නත් සිලින්ජර් මිලියන 250 ක් තම ගබඩාවේ තැම්පත් කර ගන්නා බවය.

එන්නත් නිපදවීම සිදුවන්නේ කොවිඩ් 19 ආසාදිතයන්ට නොව, වයිරසය ආසාදනය වීම වැළක්වා ගැනීමට සිරුරේ ප්‍රතිශක්තියක් ඇති කිරීම සඳහාය. ලොව පුරා විවිධ රටවල විවිධ ඖෂධ නිෂ්පාදන සම්ගම් රැසක්, කොරෝනා වැළැක්විය හැකි එන්නත් වර්ග 90 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අත්හදා බලමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. එසේ එළිදැක්වෙන සාර්ථක එන්නතක් ලොව පුරා බෙදා හැරීමේ කටයුත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවරා දෙනු ලැබ ඇත්තේ යුනිසෙෆ් සංවිධානයටය.

කොවිඩ් 19 වයිරසයට එරෙහිව රුසියාව මේ වනවිට එන්නත් දෙකක් නිපදවා ඇත්තේ අවසන් සායනික අත්හදා බැලීම් සිදුවෙමින් පවතිද්දීය. එම එන්නත් දෙකම, රුසියන් රජය විසින් ලියාපදිංචි කරනු ලැබ ඇති බවත්, ඒ අනුව, ලොව පළමු සහ දෙවැනි කොරෝනා මර්දන එන්නත් ලියාපදිංචි කළ රට වන්නේ රුසියාව බවත් පැවැසෙයි. 

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූ චීනය ද එන්නතක් නිපදවා ඇති අතර, එය එරට හමුදා සොල්දාදුවන්ටත්, වයිරස අවදානමක් පවතින නගරවල වැසියන්ටත් ලබා දීම ආරම්භ කර තිබේ. එම එන්නත ලබා දීම සිදුවන්නේ ද අවසන් සායනික අත්හදා බැලීම් සිදුවෙද්දීය. තවමත් සායනික අත්හදා බැලීම් සිදු කරන බැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය රුසියාවේ එන්නත්වලට හෝ චීනයේ එන්නතට හෝ ලැබී නැත.  ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, කොවිඩ් 19 වළක්වන එන්නතක් නිපදවීම සිදුවනු ඇත්තේ ලබන 2021 වසරේදීය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS