මම ගැන ලියූ පොත බොරු



තමා සහ තම පරිපාලනය විවේචනය කරමින්, මයිකල් වුල්ෆ් නමැති මාධ්‍යවේදියා විසින් රචිත කෘතියේ ඇති කරුණු කාරණා සියල්ල අසත්‍ය බවත් එය තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට ‘මඩ ගැසීමේ’ පටු අරමුණින් එළිදැක්වූ කෘතියක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි.

මාධ්‍යවේදී මයිකල් වුල්ෆ් ද ඇමෙරිකන් ජාතිකයෙකි. ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සම්බන්ධයෙන් සවිස්තරාත්මක මෙන්ම අතිශය පෞද්ගලික තොරතුරු රැසක් වුල්ෆ් විසින් රචනා කළ කෘතිය නම් කර ඇත්තේ ‘ෆයර් ඇන්ඞ් ෆියුරි: ට්‍රම්ප් ඉන් වයිට් හවුස්’ (ට්‍රම්ප්ගේ ධවල මන්දිර වියරුව) යන නමිනි. එය පසුගිය 2 වැනිදා එළිදැක්වුණු අතර ලොව කාගේත් අවධානය ඊට යොමු වී ඇතැයි ද පැවැසෙයි.

2015 වසර අවසන් වෙද්දී, ඇමෙරිකන් ජනපතිවරණ සමයේ දී ට්‍රම්ප්ගේ හිටපු සහායක ස්ටීව් බැනොන් සහ ට්‍රම්ප්ගේ පුතු රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවීම සම්බන්ධයෙන් විස්තර රැසක් ද මෙම කෘතියට ඇතුළත් වෙයි. 

පොත එළිදැක්වීම වැළැක්වීමට ජනපති ට්‍රම්ප් නීතිමගින් කටයුතු කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. ට්‍රම්ප්ගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු රැසක් ද කෘතිය හරහා අනාවරණය වී ඇත.

ට්‍රම්ප් කඩචෝරු ප්‍රිය කරන බවත්, සේවකයන්ට නිර්දය ලෙස බණින බවත්, ට්‍රම්ප් සහ බිරිය මෙලානියා නිදා ගන්නේ කාමර දෙකක බවත්, දෙදෙනා අතර ඇත්තේ දුරස් වූ සම්බන්ධයක් බවත් පොතට ඇතුළත් වෙයි.

බාල පුතු බැරැන් ගැන ට්‍රම්ප් හරිහැටි හඳුනන්නේ නැති බවත්, ට්‍රම්ප් හිස් කබලේ කොටසක් ඉවත් කිරීමට සැත්කමක් කර ඇති බවත් පොතට ඇතුළත් වෙයි. ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම උපදේශිකාවක ද වන ඉවන්කා ඉදිරියේ දී ඇමෙරිකා ජනපති ධුරයට පත් වීමට සැලැසුම් සකස් කර ඇති බවත් ආදී වශයෙන් විස්තර රැසක් වුල්ෆ් විසින් රචනා කළ පොතෙහි සඳහන් වෙයි.

පොතෙහි ඇතුළත් වන තොරතුරු බොරු යැයි චෝදනා නගමින් ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත්තේ මාධ්‍යවේදී වුල්ෆ් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමගින් කටයුතු කරන බවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS