ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩුවෙලා



කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් ට සාධාරණයක් ඉල්ලමින් විරෝධතා පවත්වන විරෝධතාකරුවන් හමුදාව යොදවා මර්දනය කරන්නැයි උපදෙස් දී ඇති ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය මේ වනවිට පහළ වැටී ඇති බවත්, ඇමෙරිකානුවන් වැඩිදෙනාගේ අනුකම්පාව විරෝධතාකරුවන්ට හිමිවී ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
 

මේ බව අනාවරණය වී ඇත්තේ ‘රොයිටර්’ සහ ‘ඉපොස්’ සමීපක්ෂණ වාර්තා අනුවය. ඒ අනුව ඇමෙරිකානුවන් සියයට 64 ක විරෝධතාකරුවන්ට පක්ෂව කතා කරන අතර, ට්‍රම්ප්ගේ දලදඩු ක්‍රියා අනුමත කරන්නේ සියයට 27 ක් පමණය. සියයට 9 ක පිරිසක් කිසිදු අදහසක් පළ කර නැත.

මේ අතර, රට පුරා ප්‍රධාන නගරවල පැවැත්වෙන විරෝධතා සම්බන්ධයෙන් පුවත් වාර්තා කරන මාධ්‍යවේදීන්, කැමරා ශිල්පීන් ද පොලිස් ප්‍රහාරවලට ලක් වන බවත් ඇතැමුන් පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් වාර්තා වේ.

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම නොවැම්බරයේ පැවැත්වෙන අතර, සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඊට සහභාගී වෙයි.

කෙසේ නමුත් ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකිවීමත්, මේ වනවිට ළැව් ගින්නක් සේ පැතිරෙන විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා සමතයකට පත් කර ගැනීමටත් නොහැකි වීම ට්‍රම්ප්ට අවාසිසහගත වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එලැඹෙන ජනපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ ඩිමෙක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ය. ජෝ බයිඩන්, බැරැක් ඔබාමා ජනපති ධුරය හොබවද්දී උප ජනපති ලෙස කටයුතු කළේය. ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහළ යෑම බයිඩන්ගේ වාසියට හේතුවක් වී ඇත. මේ අතර බයිඩන් සහ බැරැක් ඔබාමා ද විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටින බව වාර්තා වේ. ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් පළමු කළු ජාතිකයාය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS