ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම්



බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට බලධාරීන් සැලසුම් කර ඇතැයි දෙරටේ මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ‘ගුවන් බුබුළක්’ මාර්ගයෙන් ඔක්තෝබර් 28 වැනිදා සිට දෙරට අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් මාස අටකට ආසන්න කාලයක් දෙරට අතර ගුවන් ගමන් ඇතුළු සන්නිවේදන කටයුතු අත්හිටුවා තිබිණි.

දෙරට අතර ද්විපාර්ශවීය ගුවන් බුබුළක් නිර්මාණය කෙරෙනු ඇති බවත් ඒ අනුව විශේෂිත ගිවිසුමකට එලැඹෙනු ඇති බවත් දෙරටේ මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ගිවිසගත් සීමා යටතේ දෙරට අතර ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇත.

ඉන්දියාව ඉකුත් ජූලි මාසයේ සිට රටවල් කිහිපයක් සමඟ ඒ ආකාරයේ ගුවන් බුබුළු නිර්මාණය කර ගත් අතර ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය එම රටවල් වේ.

මෙම නව ක්‍රියාවලිය යටතේ බංග්ලාදේශයේ ගුවන් සේවා සමාගම් වන බිමාන් බංග්ලාදේශි එයාර්ලයින්ස්, යු.එස්.-බංග්ලා එයාර්ලයින්ස් සහ නොවෝ එයාර් යන ගුවන් සේවා මෙම ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. ආරම්භයක් ලෙස මුල් සතියේදී එම ගමන් ඉන්දියාවට ගුවන් වාර 28ක් ක්‍රියාත්මක කරනු ඇත.

එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ, ස්පයිස්ජෙට්, විස්තාරා සහ ගෝඑයාර් යන ඉන්දියානු ගුවන් සේවා සමාගම් පහ ද මුලින් දෙරට අතර සතියකය ගුවන් වාර 28ක් ක්‍රියාත්මක කරනු ඇත.

‘ද ඩකා ට්‍රිබියුන්’ පුවත්පතට අනුව 2018 වසරේ ජනවාරි මාසයේ සිට 2019 වසරේ මාර්තු මාසය දක්වා බංග්ලාදේශ වැසියන් 2,876,000කට ආසන්න පිරිසක් ඉන්දියාවේ සංචාරය කර ඇත. ඔවුන්ගෙන් සියයට 10කට ආසන්න පිරිසක් ඉන්දියාවට ගොස් ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ය.

මුලින්ම සෑම සතියකටම වරක් දෙරටේම මගීන් 5,000කට ආසන්න පිරිසකට ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බව බංග්ලාදේශ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති එයාර් වයිස් මාර්ෂල් මෆිදූර් රහ්මාන් පැවැසීය.

මෙම සේවා යටතේ දෙරටේ ගුවන් තොටුපොළ හරහා වෙනත් (තෙවැනි) රටකට ගමන් කිරීමට අවස්ථාව නොලැබෙන අතර ගුවන් ගමන්වලට පෙර සෑම මගියකුම ‘කොවිඩ්-19’ පරීක්ෂණයකට යොමු කරන බව ද හෙතෙම කීය.

බංග්ලාදේශ පුරවැසියන් සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා අයඳුම්පත්‍ර ලබාදීම ආරම්භ කරන බව බංග්ලාදේශයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඔක්තෝබර් 9 වැනිදා නිවේදනය කළේය.

වෛද්‍ය, ව්‍යාපාරික, රැකියා, මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික ඇතුළු අංශ නවයක් යටතේ දැනට වීසා ලබා දෙන බව ද දෙරටේ බලධාරීහු සඳහන් කරති.

හින්දුස්තාන් ටයිම්ස්


RECOMMEND POSTS