’ස්ටාර්ට්‍රෙක්’ නළු ගගන සවාරියට සූදානම්



අතිශය ජනප්‍රිය 'ස්ටාර්ට්‍රෙක්' මුල්ම රූපවාහිනී කතා මාලාවේ සහ මුල්ම චිත්‍රපට මාලවේ කැප්ටන් ජේම්ස් ටී. කර්ක්ගේ චරිතයට පණ පෙවූ හොලිවුඩ් නළු විලියම් ෂැට්නර්, ඇමෙරිකන් ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්ගේ 'ඕලූ ඔරිජින්' සමාගම සමඟ එක්වී පෘථිවි කක්ෂයට ගොස් ආපසු ඒමට නියමිතය. ඒ, ගගන සංචාරකයකු ලෙසය.

90 හැවිරිදි ෂැට්නර්, අභ්‍යකාශයට යන වයස්ගතම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ද පැවැසෙයි. පෞද්ගලික ගගන සංචාර ආරම්භ කිරීමෙන් පසු 'ඕලූ ඔරිජින්' සමාගම ගගන සංචාරක කණ්ඩායමක් පථිවි කක්ෂයට යවා විනාඩි 10 ක් ශුන්‍ය ගුරුත්වයේ රැඳී සිටීමට සලස්වා ආපසු ගෙන්වා ගන්නා දෙවැනි අවස්ථාව මෙයයි.

'ඕලූ ඔරිජින්' කැප්සියුලය සහ රොකට්ටුව උඩු ගුවනට යනු ඇත්තේ ටෙක්සාස් කාන්තාරයේ ඉදිකර ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
ෂැට්නර් සමඟ මෙම ගමනට තවත් තිදෙනෙක් එක් වෙති. ඕලූ ඔරිජික් සමාගමේ උප සභාපති අන්ඩ්‍රි පවර්ස්, 'ප්ලැනට්' චන්ද්‍රිකා සමාගමේ සභාපති ක්‍රිස් බොෂුසේන්, ප්‍රංශ සෞඛ්‍ය සේවා මෘදුකාංග සමාගමක් වන 'ඩෙසෝල් සිසිටෙම්' හි විධායක අධ්‍යක්ෂවරියක වන ග්ලෙන් දෙ වෙරියස් ඔවුන් තිදෙනාය.

'ස්ටාර් ට්‍රෙක්' විද්‍යා ප්‍රබන්ධ කතා සහ චිත්‍රපට හරහා අභ්‍යවකාශයට ගිය තමන්, සැබැවින්ම එවැනි වික්‍රමයකට සහභාගී වීම සුවිශේෂී අමතක නොවන අත්දැකීමක් වනු ඇතැයි විලියම් ෂැට්නර් පවසා තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS