‘වෛද්‍ය ශිෂ්‍යයා මිය ගියේ බැල්කනියෙන් පැනීමෙන්‘ - අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය



 

(ඊජිප්තුව)

නාසර් නගරයේ ගණිකා මඩමක් වැටලූ අවස්ථාවේදී පොලීසියෙන් බේරීම සඳහා බැල්කනියෙන් පැනිම නිසා 21 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයකු මිය ගිය බව ඊජිප්තුවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අයින් ෂාම්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි එම්.කේ අහ්මඩ් නමැති ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් පසුගිය දිනවල ඊජිප්තුවේ සමාජ වෙබ් අඩවි ජාල විසින් මහත් ආන්දෝලනයක් ඇතිකර තිබුණි. සමහරු  කියා සිටියේ එම ශිෂ්‍යයා පොලිස් අත් අඩංගුවේ සිටියදී මිය ගිය බවය.

ගණිකා මඩම වැටලූ අවස්ථාවේදී වෛද්‍ය ශිෂ්‍යයා එහි සිටි බවත්, ඔහු එස්රා නමැති 24 හැවිරිදි කාන්තාවක් සමග බැල්කනියෙන් පැන පොලීසියෙන් බේරිමට උත්සාහ කළ බවත් එම අවස්ථාවේදී කාන්තාවගේ ශරීරයේ තැන් කිහිපයක් කැඩී බිඳී තුවාල සිද්වී ඇති බවත් අමාත්‍යාංශ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. එස්රා නැති කාන්තාව මේ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කර ඇති  බවද නිවේදයේ සඳහන් වෙයි.

එහෙත් සමාජ වෙබ් අඩවි කිහිපයක්ම පවසන්නේ අහ්මඩ් අත් අඩංගුවට ගැනීමෙන් පසුව පොලීසියේ දෙන ලද වද දීම්වල ප්‍රතිඵලයක් වශයෙන් ඔහු මිය ගිය බවය. මහන්සි වී වැඩ කළ අහ්මඩ් ගරු කටයුතු අන්දමින් ජීවත් වූ බවත් ඔහු ගණිකා මඩම්වලට නොගිය බවත් තවත් අය පවසති.


RECOMMEND POSTS