‘නේට්’ මධ්‍යම ඇමෙරිකාව කළඹයි



මහ වැසි සහ තද සුළං ද සමඟ ‘නේට්’ සුළි කුණාටුව මධ්‍යම ඇමෙරිකාවට අයත් කොස්ටා රීකා, නිකර්ගුවා සහ හොන්ඩුරාස් රටවලට හරහා හමා ගියේය.

‘නේට්’ ගැන කල් තියා අනතුරු ඇඟවීම් කර තිබුණ ද එය මෙතරම් බිහිසුණු සුළි කුණාටුවක් වේවි යැයි කාලගුණ විද්‍යා බලධාරීහු අනුමාන නොකළහ.

සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෝ විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය. තවත් 20 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි පැවැසෙයි. ඒ අනුව මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට බිය පළ කෙරේ.

නිකර්ගුවා රාජ්‍යයෙන් පමණක් මරණ 10 ක් වාර්තා වී තිබේ. නිකර්ගුවා කාලගුණ බලධාරීන් පැවැසුවේ සෙ.මී. 38 ක වර්ෂාපතනයක් වාර්තා වුණු බවය.

පළාත් රැසක් ජලයෙන් යට වී ඇති අතර, ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇතැයි ද පැවැසෙයි. ගම්මාන රැසක් නායයෑමට හසුවිය. පාලම් රැසක් ද විනාශ වී ඇතැයි පැවැසෙයි. සහන සේවා සඳහාත් කොටුවුණු පිරිස් මුදා ගැනීම සඳහාත් හමුදාව යෙදවිණි.

කොස්ටා රීකා රාජ්‍යයේ ලක්ෂ 4 කට වැඩි පිරිසක් පානීය ජලය නොමැතිව පීඩා විදින බව ද පැවැසෙයි. උන්හිටිතැන් අහිමි වුණු පිරිස මේ වනවිට සහන කඳවුරුවල වෙසෙති. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බව බලධාරීහු කියති.

‘නේට්’ සුළි කුණාටුව ගැන කල්තියා මධ්‍යම ඇමෙරිකානු රටවලට අනතුරු ඇඟවීමට ඇමෙරිකාව කටයුතු කළ බව ද පැවැසෙයි. සුළි කුණාටුව මධ්‍යම ඇමෙරිකා රටවල් පසුකරමින් ඇමෙරිකාව දෙසට ඇදී යමින් පවතී.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS