‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ජපානයේ



ලෝකයේ ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායකයන් සහභාගි වන ‘ජී20’ සමුළුව හෙට (28) ජපානයේ ඔසාකා නුවරදී ආරම්භ වෙයි. ‘ජී20’ හෙවත් ‘20 දෙනාගේ කණ්ඩායම’ ට ලොව ප්‍රධාන පෙළේ ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 19 න රාජ්‍ය නායකයන් සහ යුරෝපා සංගමය ඇතුළත්ය.

ඔසාකා පැවැත්වෙන සමුළුවට ආජන්ටිනා ජනාධිපති මුරිසියෝ මාර්සි, ඕස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන්, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සරානෝ, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, චීන ජනාධිපති ෂී ජින්පින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්, ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ, ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්, මෙක්සිකෝව වෙනුවෙන් එරට විදේශ ඇමැති මාසෙලෝ එඞ්රාඞ්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, මහා බි්‍රතාන්‍යය වෙනුවෙන් නව අගමැතිවරයකු පත්වන තෙක් ධුරයේ කටයුතු කරන අගමැතිනී තෙරේසා මේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුවට සහභාගී වෙති.

ජපාන අගමැති ෂෙන්සෝ අබේ ද සමුළුවට සහභාගී වෙයි. මෙවර සමුළුවේ සත්කාරකරු ජපානය හෙයින්, සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද ජපාන අගමැති අබේ විසිනි. ඊට අමතරව යුරෝපා සංගමය වෙනුවෙන් එහි සභාපති ජෝන් ක්ලෝද් ජන්කර් සමුළුවට සහභාගී වෙයි.

මෙවර ‘ජී20’ සමුළුවේදී ප්‍රධාන තේමාව වන්නේ ‘මානුෂීයමය අනාගත සමාජයක් ගොඩනැගීම’ යන්නය. ගෝලීය ආර්ථික කටයුතු, වෙළෙඳ සහ ආයෝජන කටයුතු, නව්‍යකරණය, ත්‍රස්තවාදය පිටුදැකීම, පරිසරය සහ බලශක්ති පිළිබඳ කටයුතු, සංවර්ධනය, කාන්තාවන් වෙනුවෙන් වැඩි තැනක් දීම සහ සෞඛ්‍ය ආදී වශයෙන් මාතෘකා සම්බන්ධයෙන් ද සමුළුවේදී සාකච්ඡා පැවැත්වෙනු ඇත.

මෙවර සමුළුවේදී සමුළුවට සමගාමීව, රාජ්‍ය නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡා ඉතා වැදගත් වෙයි. ඇමෙරිකාවත් චීනයත් අතර නිර්මාණය වූ ‘වෙළෙඳ යුද්ධය’සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්වෙයි. ඊට අමතරව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ ද හමුවක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.

සමුළුව වෙනුවෙන් සුපුරුදු පරිදි විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම, ‘ජී20’ සමුළුවට විරෝධය දක්වන කණ්ඩායම් ද සුපුරුදු පරිදි ඔවුන්ගේ විරෝධතාවල නියැලෙන බව වාර්තා වේ. ලෝක නායකයන් වසරකට වරක් එක් රැස් වී, කා බී විනෝද වෙනවා හැර ලොවට යහපතක් කිරීමේ අරමුණක් ඔවුන්ට නැති බව එම විරෝධතාකරුවන්ගේ අදහසය.

පසුගිය වසරේ එනම් 2018 දී ‘ජී20’ සමුළුව පැවැත්වූයේ ආජන්ටිනාවේ බුනර්නෝස් අයර්ස් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ලබන වසරේ එනම් 2020 දී ‘ජී20’ පැවැත්වෙනු ඇත්තේ සෞදි අරාබියේය.

ඔසාකාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS