‘චන්ද්‍රයාන් 2’ ප්‍රමාදයි



ඉන්දියාවේ දෙවැනි සඳ ගවේෂණ මෙහෙයුම ‘චන්ද්‍රයාන් 2’ අද අලුයම 2.51 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවසන් මොහොතේ දී එය කල් දැමීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ පියවර ගත්තේය.

මෙම චන්ද්‍ර මෙහෙයුමේ අරමුණ වී ඇත්තේ, සඳ මතට කුඩා රොබෝ ගවේෂණ යානයක් පතිත කිරීමය.
මෙම ගවේෂණ යානය ‘චන්ද්‍රයාන් 2’ යනුවෙන් නම් කර ඇත. ‘චන්ද්‍රයාන් 2’ යානය සඳ මත පතිත කළොත්, එසේ යානයක් පතිත කරවන සිවුවැනි රට වනු ඇත්තේ ඉන්දියාවය.

මේ වනවිට සඳට යානා යවා ඇත්තේ ඇමෙරිකාව, සෝවියට් දේශය, චීනය පමණි. සඳට මිනිසුන් යවා ඇත්තේ ඇමෙරිකාව පමණි. ඒ, මීට වසර 50 කට පෙර, ඇපලෝ 11 මෙහෙයුම යටතේය.

ඉන්දියාව මීට පෙර 2008 දී, ‘චන්ද්‍රයාන් 1’ සඳට යැවීය. ‘චන්ද්‍රයාන් 1’ පතිත කරවන ගවේෂණ යානයක් නොවීය. එය සඳුගේ කක්ෂයට පිවිස, කක්ෂයේ සිට සඳ සිතියම් ගත කළේය. සඳේ ජල අංශු ඇතැම් පළමු වරට ලොවට අනාවරණය කළේ එම ‘චන්ද්‍රයාන් 1’ යානයයි. ‘චන්ද්‍රයාන් 1’ සඳ සිතියම් ගත කළේ රේඩාර් පද්ධතියක් යොදා ගනිමිනි.

‘චන්ද්‍රයාන් 1’ සේම ‘චන්ද්‍රයාන් 2’ යානය ද සම්පූර්ණයෙන් ම ඉන්දියාවේ නිෂ්පාදනයකි. මෙම මෙහෙයුම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක මුදලක් වැය වන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසා ඇත.

‘චන්ද්‍රයාන් 2’ යානය සඳේ දකුණු අර්ධගෝලයේ ස්ථානයකට ගොඩ බසිනු ඇති අතර, සඳේ පස් සහ පාෂාණ පරීක්ෂා කිරීමත්, ජල අංශුවල දත්ත ලබා ගැනීමත් සිදු කරනු ඇත.

ඉන්දියාව ඔවුන්ගේ රොකට් උඩු ගුවනට විදීම සිදු කරනු ලබන්නේ ‘ශ්‍රී හරිකොත’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ‘චන්ද්‍රයාන් 2’ රැගත්  රොකට්ටුව ටොන් 640 ක් බරින් යුක්තය. එහි උස අඩි 144 කි.

‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට සියලු කටයුතු සූදානම් වූ නමුත් එය අත්හිටුවීම සිදුවූයේ අවසන් මිනිත්තු 56 ඇතුළතදීය. ඒ, තාක්ෂණවේදීන්ට රොකට්ටුවේ දෝෂයක් ඇති බව දැනගන්න ලැබීම නිසාය.

‘චන්ද්‍රයාන් 2’ යානය කොටස් 3 කින් යුක්තය. ඊට කක්ෂගත යානයක්, පතිත කරවන යානයක් සහ සඳේ එහෙමහෙ යා හැකි රොබෝ රෝවර් යානයක් ද ඇතුළත්ය. ප්‍රධාන යානයෙන් වෙන්වන කක්ෂගත යානය සඳේ කක්ෂයට පිවිස කක්ෂයේ රැඳී සිටින්නේ සඳේ සිට සංඥා පෘථිවියට ලැබෙන්න සලස්වන අතරමැදියා ලෙසය.
සඳ මත පතිත කරවන යානය නම් කර ඇත්තේ ‘වික්‍රම්’ යනුවෙනි. රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ ය. එය ඇත්තේ ‘වික්‍රම්’ යානය තුළය. ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය රෝද 6 කින් සමන්විත කුඩා රොබෝ යානයකි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS