හොඳම නගරය නවසිලන්තයේ ඕක්ලන්ඩ්



'කොවිඩ් 19' වයිරස වසංගතය හමුවේ, ලොව ජීවත් වීමට සුදුසුම නගර ලැයිස්තුව 'ද ඉකොනොමිස්ට්' ආර්ථික සඟරාව විසින් නම් කරනු ලැබ ඇති අතර, එම ලැයිස්තුවේ අංක 1 ස්ථානයේ ඇත්තේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි.

2021 වසරේ ජීවත් වීමට හොඳම නගර ලැයිස්තුගත කර කිරීම සිදුවී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ කළ සමීක්ෂණවලිනි. එම සමීක්ෂණ දත්ත අනුව, ලකුණු ලබා දීමක් සිදු කර හොඳම නගර 10 තෝරා ගෙන තිබේ.

'කොවිඩ් 19' වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වූ දිනයේ පටන්, ඉතාමත් සාර්ථකව වයිරස ව්‍යාප්තිය පාලනය කරගත් රටක් වන්නේ නවසීලන්තයයි. ඊට හේතුව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්, සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබා ගනිමින්, නිවැරදි වේලාවේ නිවැරදි තීන්දු තීරණය ගැනීමය.

ලොක්ඩවුන් කිරීම් හරහා රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වුණත් ආසාදිතයන් සහ මරණ අවම කර ගැනීමට ජැසෙන්ඩාගේ රජය සමත් විය. කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කරගත් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසැසුම් නවසීලන්තයට ලැබී තිබේ.

'ඉකොනොමිස්ට්' සඟරාවට අනුව, ජීවත්වීමට හොඳම නගරය ඕක්ලන්ඩ් වෙද්දී, දෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ ජපානයේ ඔසාකා නගරයයි. තෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩෙලේඩ් ය. නවසීලන්තයේ අගනුවර වන වෙලිංටන් සිවුවැනි ස්ථානයට පත් වී තිබේ. ජපානයේ ටෝකියෝ අගනුවර ඇත්තේ ද සිවුවැනි ස්ථානයේය.  වෙලිංටන් සහ ටෝකියෝ සිවුවැනි ස්ථානයට පත් වී ඇත්තේ එම නගර සඳහා සම ලකුණු හිමිවී ඇති බැවිනි.

6 වැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයටත්, 7 වැනි ස්ථානය ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයටත්, නැවතත් 8 වැනි ස්ථානය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයටත් හිමිවී ඇත.

ලැයිස්තුවේ 9 වැනි ස්ථානයක් නොමැති අතර, සූරිච් නගරයට අමතරව, 8 වැනි ස්ථානයට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ද අයත් වෙයි. 10 වැනි ස්ථානයේ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්ය.

ජීවත් වීමට හොඳම නගර 10 මෙසේ හඳුන්වා දෙද්දී, ජීවත් වීමට කිසිසේත්ම සුදුසු නොවන නගර 10 ද 'ඉකොනොමිස්ට්' සඟරාව විසින් නම් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අංක 1 ස්ථානයේ සිට පිළිවෙළින් එම ලැයිස්තුවට ඇතුළත් වන්නේ සිරියාවේ ඩමැස්කස්, නයිජීරියාවේ ලාගෝස්, පැපුවා නිව්ගිනියාවේ පෝට් මෝස්බී, බංග්ලාදේශයේ ඩකා, ඇල්ජීරියාවේ ඇල්ජියර්ස්, ලිබියාවේ ට්‍රිපොලි, පාකිස්තානයේ කරච්චි, සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ, කැමරූන් රාජ්‍යයේ ඩවුලා සහ 10 වැනි ස්ථානයේ ඇත්තේ වෙනිසියුලාවේ කැරකස් නගරයයි.

ඕක්ලන්ඩ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS