හිම වළසා මරා දැමේ



උණුසුම් නිවර්තන කලාපයේ උපන් පළමු හිම වළසා ලෙස නමක් දිනාගෙන සිටි ‘ඉනුකා’ විස එන්නතක් මගින් මරා දැමීමට ඌ ජවත් වනු සිංගප්පූරු සත්වෝද්‍යාන බලධාරීහු පියවර ගත්හ.

හිම වළසා ආක්ටික් කලාපය කේන්ද්‍රකොට ගනිමින් ජීවත් වන සතෙකි. ‘ඉනුකා’ උපත ලැබුවේත් සහ ජීවත් වූයේත් සිංගප්පූරු සත්වෝද්‍යානයේය. ‘ඉනුකා’ගේ අභාවය සිංගප්පූරු වැසියන් කම්පාවට පත් කර ඇති අතර, බොහෝ දෙනා ඒ වෙනුවෙන් සොව පළ කර ඇති බව ද වාර්තා වේ.

‘ඉනුකා’ පසුගිය පස් වසකර කාලය පුරාවට අස්ථි දුර්වලවීම ඇතුළු රෝග ගණනාවකින් පීඩාවට පත් විය. පශු වෛද්‍යවරුන් මෙන්ම සත්වෝද්‍යානයේ බලධාරීන් ද අවසානයේ තීරණය කළේ 27 හැවිරිදි හිම වළසා තවත් දුක් වේදනා විඳීමට ඉඩ නොහැර, උගේ ජීවිතය අවසන් කිරීමටය. ඒ අනුව, ‘ඉනුකා’ මරා දැමීම සිදුවිය.

ආක්ටික් කලාපයෙන් පිට හිම වළසුන් සත්වෝද්‍යානවල රඳවා තැබීම ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකරය. සත්ව අයිතීන් සුරැකීමේ සංවිධාන මේ බව ලොව සත්වෝද්‍යාන බලධාරීන්ට නිරන්තරයෙන් දැනුම් දෙයි.

සත්වෝද්‍යානයේ උපත ලබා තරුණ වයසට පැමිණෙද්දී, ‘ඉනුකා’ ආක්ටික් අයිස් කලාපයට මුදා හැරීයේ නම්, ඌ මෙලෙස රෝගී නොවීමට ඉඩ තිබුණේ යැයි ද සත්ව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS