හැරී-මේගන් ඕක්ලන්ඞ් යති



නවසීලන්තයේ සංචාරයකට පැමිණ සිටින හැරී කුමරුන් සහ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය උතුරු දිවයිනේ ඕක්ලන්ඞ් නුවරට පැමිණියහ.

රාජකීය යුවළ ඕක්ලන්ඞ් පැමිණෙද්දී, නවසීලන්තයේ උතුරු දිවයින භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙස සටහන් විය.

භූමි කම්පාව හටගත්තේ ඕක්ලන්ඞ් නුවර සිට කිලෝ මීටර් 208 ක් දකුණින් යැයි ද පැවැසෙයි. භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා කිහිපයක් ද හටගත් බව නවසීලන්ත පුවත් සේවා වාර්තා කළේය.

නවසීලන්ත පාර්ලිමේන්තුව ද භූමි කම්පාවෙන් දෙදරා ගියේය. භූමි කම්පාව හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා එල්ල විය.

භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදුවුණු බවට වාර්තා වී නැත. නවසීලන්තය දූපත් රාජ්‍යයක් වන අතර, එය පිහිටා ඇත්තේ භූ තැටි මායිමක් අසලය. එහෙයින් භූමි කම්පා ඇතිවීම ස්වභාවිකය.

වෙලිංටන් නුවර බූට් සපත්තු විසි කිරීමේ තරගයකට හැරී සහ මේගල් යුවළ සහභාගී වූහ. පාසල් දරු දැරියන් ද කණ්ඩායම් දෙකක් බැගින් හැරී සහ මේගන් පිළට එක් කෙරුණි. බූට් විසි කිරීමේ තරගයෙන් හැරී පරාජය කිරීමට මේගන් සමත් වුණැයි ද පැවැසෙයි.

රාජකීය යුවළ නවසීලන්තය බලා පැමිණියේ පසුගිය සති අන්තයේදීය. ඒ, ඕස්ටේ්‍රලියාවේ සංචාරය අවසන් කිරීමෙන් පසුවය. නවසීලන්ත වැසියන්ගෙන් පමණක් නොව, නවසීලන්ත අගමැතිනී ජසෙන්ඩා එර්ඩර්න්ගෙන් ද හැරී සහ මේගන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS