හැරී කුමරු විවාහ ගිවිස ගනී



හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය මේගාන් මාකෙල් විවාහ ගිවිස ගත් බව ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.

රජ පවුලේ සාමාජිකයකු විවාහ වන්නේ නම්, මහ රැජිනගේ අනුමැතිය සහ අවසරය ඊට හිමිවිය යුතුය. හැරී කුමරු  කිරුළ දැරීමට සිටින පස් වැනියාය. හැරී කුමරු සහ පෙම්වතිය මෙගාන් බකිංහැම් මාලිගයේදී දෙවැනි එලිසබත් රැජින හමුවූහ. එහිදී මහ රැජිනගේ ආශිර්වාදය දෙදෙනාට හිමිවුණු බව ද පැවැසෙයි.

ඒ අනුව ලබන වසර මුලදී දෙදෙනාගේ විවාහය සිදුවනු ඇතැයි හැරී කුමරු වෙනුවෙන් කෙන්සින්ටන් රජ මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

හැරී කුමරු 33 හැවිරිදි වියෙහි පසුවන අතර මෙගාන්ගේ වයස අවුරුදු 36 කි. බි්‍රතාන්‍ය පුවත් සේවා හැරී කුමරු සහ මෙගාන් පෙම්වතුන් බව අනාවරණය වූයේ පසුගිය වසරේදීය.

කෙසේ නමුත් හැරී කුමරු හෝ මෙගාන් හෝ ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ නැත. මෙගාන් මාකෙල් ඇමෙරිකා රූපවාහිනියේ ජනප්‍රිය නිළියකි. වඩාත් ජනප්‍රිය වී සිටින්නේ  ‘සූට්ස්’ නමැති මාලා නාටකයෙනි.

 (ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS