හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුව ලබන 12 වැනිදා, අධි ආරක්ෂාවක් මැද, සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ, කැපෙල්ලා නමැති තරු පහේ හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිටත් සූදානමින් පවතින බව වාර්තා වේ.

උතුරු කොරියා නායකයකු සහ ඇමෙරිකා ජනාධිපතිවරයකු මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය වන හෙයින්,  එය ඓතිහාසික හමුවක් වනු ඇතැයි පැවැසෙයි. කිම් ජොන් උන් සහ ට්‍රම්ප් හමුව නම් කර ඇත්තේ ‘සාම සමුළුව’ කියාය.

ඊට දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ද සහභාගී වීමට නියමිත බව පැවැසෙයි. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ යහපත් සබඳතා ආරම්භ කිරිමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කළේ දකුණු කොරියා ජනාධිපතිවරයාය.

කිම් ජොන් උන් සහ ට්‍රම්ප් සහභාගී වන සාම සමුළුව, කැපෙල්ලා නමැති තරු පහේ හෝටලයේ පැවැත්වෙන බව තහවුරු කරනු ලැබුවේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් සේරා සැන්ඩර්ස් විසිනි.  කැපෙල්ලා හෝටලය පිහිටා ඇති සෙන්ටෝසා දූපත සිංගප්පූරුවට අයත් දූපත් 63 අතරින් එකකි.

සාම සමුළුව සඳහා මෙම දූපත තෝරා ගෙන ඇත්තේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමිනි. සිංගප්පූරුවේ ප්‍රධාන දූපතේ සිට මෙම දූපතට පිවිසිය හැක්කේ කේබල් කාර් සහ උමං මාර්ගයකිනි. ‘සාම සමුළුව’ සම්බන්ධයෙන් මෙම පිවිසුම් මාර්ග වසා දැමෙනු ඇති බව පැවැසෙයි. එපමණක් නොව, සිංගප්පූරුවට ඉහළින් ගුවන් කලාපය ද සමුළුව පැවැත්වෙන දිනයේදී වසා දැමෙනු ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS