හමුව අවලංගු වන ළකුණු



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ තමා අතර, ලබන ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත හමුව අවලංගුවීමේ ඉඩක් ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ට්‍රම්ප් මේ බව කියා සිටියේ ධවල මන්දිරයේ දී, ඔහු හමුවීමට පැමිණි දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සමඟ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ට්‍රම්ප්ගේ ආරාධනාව පරිදි, දකුණු කොරියා ජනාධිපතිවරයා, ධවල මන්දිරයට පැමිණියේ බිරිඳ කිම් ජොන් සූක් ද සමඟය. ජනපති ට්‍රම්ප් සහ ආර්යාව මෙලානියා ඔවුන් උණුසුම් ලෙස පිළිගත්තේය.

දකුණු කොරියා ජනාධිපති සහ ආර්යාව වෙනුවෙන්, ට්‍රම්ප් යුවල විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. පසුගිය වසරේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මූන් ජේ ඉන්, ඇමෙරිකාවට පැමිණ ට්‍රම්ප් හමුවන පළමු අවස්ථාව මෙයයි.

ලබන ජූනි 12 වැනිදා පැවැත්වීමට නියමිත ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුවට පෙර, උතුරු කොරියාව කොන්දේසි කිහිපයකට යටත් විය යුතු බව දැනුම් දී තිබුණත්, ඔවුන් තවමත් එම කොන්දේසිවලට යටත් වී නැතැයි ඇමෙරිකා ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

තමා මෙන්ම උතුරු කොරියා නායක කිම් ජොන් උන් ද මෙම හමුව කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් තබා ඇති බැවින් ජූනි 12 වැනිදා එය නොපැවැත්වුණොත්, ඉදිරි දිනක හමුව පැවැත්වෙනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ. ඒ බව, ඔහු අසල සිටි දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ද සහතිකයක් ලබා දුන්නේය.

උතුරු කොරියා නායකයා සාම මාවතකට පිවිසීමට කැමැත්ත පළ කළේ දකුණු කොරියා ජනාධිපතිගේ නම්‍යශීලී ප්‍රතිපත්ති නිසාය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, දෙරට දේශසීමාවේදී එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වූය. ඉන්පසු දෙදෙනාගේ මූලිකත්වයෙන් උතුරු සහ දකුණු කොරියා සාම සමුළුවක් ද පැවැත්වූහ.

එම අවස්ථාවේදී උතුරු කොරියා නායකයා පොරොන්දුවක් ලබා දුන්නේ, කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කරන බවටය. එය ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේත්, සෙසු ජාත්‍යන්තරයේත් පැසැසුමට ලක් විය.
ඉදිරි දින කිහිපයේ දී, උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික බලාගාර සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන ස්ථාන වසා දැමීමට නියමිතය. එය සිදුවන අයුරු නිරීක්ෂණය කිරීමට ඇමෙරිකා නියේජිත කණ්ඩායමක් සහ වෙනත් ප්‍රධාන රටවල නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් උතුරු කොරියාවට යෑමට නියමිතය. මේ වනවිටත් එම කටයුතු වාර්තා කිරිමේ අරමුණ ඇතිව විදෙස් මාධ්‍ය කණ්ඩායම් කිහිපවයක් උතුරු කොරියාවට පැමිණ සිටින බව ද පැවැසෙයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ලබන 12 වැනිදා, සිංගප්පූරුවේදී ට්‍රම්ප් හමුවීමට කැමැත්ත පළ කළේ ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානියා ලෙසත්, පසුව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලෙසත් මයික් පොම්පේඕ උතුරු කොරියා නායකයා හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය.

කිම් ජොන් උන්ගේ රෙජීමයේ වෙනසක් ඇමෙරිකාව බලාපොපරොත්තු නොවන බවට එහිදී මයික් පොම්පේඕ සහතිකයක් දුන්නේය. කෙසේ නමුත්, ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කළ ප්‍රකාශයක් හේතුවෙන් උතුරු කොරියාව උරණ විය.

ජෝන් බෝල්ටන් කියා සිටියේ ඇමෙරිකාව ලිබියානු මොඩලය, උතුරු කොරියාවට ආදේශ කරන බවය. ඇමෙරිකාවේ ලිබියානු මොඩලය හරහා ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට ආරක්ෂාව දෙන බවට ඇමෙරිකාව සහතික විය. ඒ අනුව, ගඩාෆි ඔහු සතු විනාශකාරී අවි, අවිහරණය කළේය. කෙසේ නමුත් අවසානයේදී, කැරැලිකරුවන් අතින් ගඩාෆි ඝාතනය විය. කැරැලිකරුවන් උසි ගැන්නුවේත්, ඔවුන්ට අවි ආයුධ දුන්නේත් ඇමෙරිකාවය.

(රොයිටර්)


RECOMMEND POSTS