හදිසියේ හමුවෙයි



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර හදිසි හමුවක්, පෙරේදා (26) දෙරට දේශසීමාවේදී පැවැත්විණි.

උතුරු කොරියා නායකයා සහ දකුණු කොරියා ජනාධිපතිවරයා හදිසියේ එකිනෙකා හමුවූයේ අවලංගු කර දැමුණු ‘ට්‍රම්ප් හමුව’ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ හමුව උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ සාම ගම්මානයේ පැවැත්විණි. සාකච්ඡා පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණැයි දකුණු කොරියා මාධ්‍ය වාර්තා කර තිබේ.

කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අදහස විය. ඒ අනුව, උතුරු කොරියාව මේ වනවිටත් ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන පර්යේෂණාගාර පුපුරුවා විනාශ කිරීම සිදු කරමින් සිටී.

එම කටයුතු සැලැසුම් කළ පරිදි දිගටම සිදුකරන බව ද උතුරු කොරියා නායකයා, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ට සහතිකයක් ද ලබා දුන්නේය. උතුරු කොරියා නායකයාගේ මෙම ක්‍රියා කලාපය ඇමෙරිකාවේත් සෙසු රටවලත් පැසැසුමට හේතුවක් වී ඇත.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව ලබන 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් තිබුණි. කෙසේ නමුත්, උතුරු කොරියානුවන්ගේ ‘එදිරිවාදිකම්’ සැළකිල්ලට ගනිමින් එම ‘හමුව’ අවලංගු කිරීමට ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කළේය. ඒ, උතුරු කොරියා නායකයාට ලිපියක් යවා ඒ බව දැනුම් දෙමිනි.

ජූනි 12 වැනිදා පැවැත්වීමට නියමිත ‘හමුව’ අවලංගු කිරීමට ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසු, උතුරු කොරියාව දිගින් දිගටම ට්‍රම්ප්ට ගෙන් ඉල්ලා සිටියේ එම අදහස වෙනස් කරන ලෙසය. ‘හමුව’ සැලැසුම් කළ පරිදි පැවැත්විය යුතු බව උතුරු කොරියාව පෙන්වා දුන්නේය. ඒ අනුව, දැන් යළිත් වරක් ට්‍රම්ප් පවසා ඇත්තේ සිංගප්පූරුවේ දී තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට තමන් තටයුතු කරන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS