සෞඛ්‍ය ඇමැතිගේ ඉල්ලා අස්වීම බාර ගැනෙයි



‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ, රට වසා දැමූ අවස්ථාවේදී, නිරෝධායන නීති කැඩුවේ යැයි චෝදනා ලැබ සිටි නවසීලන්ත සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් ක්ලාක් ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණයට නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්ගේ අනුමැතිය හිමිවී ඇත.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හමුවේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් සහ සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් ක්ලාක් කියා රට වසා දැමීමට (ලොක්ඩවුන්) තීරණය කළහ. ඒ, පසුගිය අප්‍රේල් මාසයේදීය.

එසේ ලොක්වඩුන් කර තිබියදී, සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් ක්ලාක් පවුලේ අය සමඟ කිලෝ මීටර් 20 ක දුරක් ගෙවා මුහුදු වෙරළට ගොස් විනෝද විය. නිවෙස්වල ඉන්නැයි රට වැසියන්ට උපදෙස් දී, සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් ක්ලාක් මුහුදු වෙරළට ගොස් විනෝද වීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල විය. නවසීලන්ත වැසියන් කියා සිටියේ, ක්ලාක් සෞඛ්‍ය අමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. කෙසේ නමුත් එම අවස්ථාවේදී අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්, ක්ලාක් වෙනුවෙන් පෙනී සිටි අතර ක්ලාක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමක් ද කළේය.

පසුගිය ජූනි 8 වැනිදා වනවිට නව ආසාදිතයන් හමු නොවුණු බැවින් නවසීලන්ත රජය කියා සිටියේ, ‘කොවිඞ් 19’ වයිරසය එරටින් තුරන් කළ බවය. සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් ක්ලාක්ට එම අවස්ථාවේදී පැසැසුම් ලැබුණි. ‘ලොක්ඩවුන්’ කළ නවසීලන්තය යළි අදියරෙන් අදියර විවෘත කෙරුණි. එම අවස්ථාවේදී බි්‍රතාන්‍යයේ සිට පැමිණි තරුණියන් දෙදෙනකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුනා ගැණින.

එම කාන්තාවන් දෙදෙනා ඕක්ලන්ඞ් නුවරට ගුවනින් පැමිණ, වෙලිටන් අගනුවර දක්වා පැමිණි අතර, ‘කොවිඞ් 19’ ආසාදිතයන් යැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ වෙලිටන් අගනුවරදීය. ඕක්ලන්ඞ් ගුවන්තොටුපොළේ දී තරුණියන් පරීක්ෂා නොකිරීම, ඔවුන් නිරෝධායනය නොකිරීම ආදී කරුණු අතපසු වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට දොස් අහන්න සිදුවිය. අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ‘වයිරසය නැවැත්වීමට ගත් සියලු ක්‍රියා මාර්ග වතුරේ ගියා’ යනුවෙනි.

මෙම සිදුවීම මුල්කොට ගනිමින් සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් ක්ලාක්ට යළි දෝෂාරෝපණ එල්ල විය. ඔහු ඉල්ලා අස්වීමට තීරණය කළේ එම අවස්ථාවේදීය. ක්ලාක්ගේ ඉල්ලා අස්වීම බාරගත් බවත්, වගකීමෙන් කටයුතු කළ හැකි සුදුස්සකු කඩිනමින්, සෞඛ්‍ය ඇමැති ධුරයට පත් කරන බවත් නවසීලන්ත අගමැතිනිය මාධ්‍ය හමුවේ පවසා තිබේ.

වෙලින්ටන් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS