සෝමාලියාවට තෙදින ශෝක කාලයක්



සෝමාලියාවේ කිස්මායෝ නුවර මෙදීනා හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත් වී 55 දෙනකු තුවාල ලැබීමේ සිදුවීමෙන් පසු සෝමාලියාවට තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මොහොමද් අබ්දුල්ලායි මොහොමද් පියවර ගෙන ඇතැයි ද වාර්තාවේ.

ප්‍රහාරය එල්ල වූයේ කිස්මායෝ වරාය නගරයේ, ‘මෙදීනා’ හෝටලයටය. ප්‍රහාරයේ වගකීම බාර ගන්නා බව අල් ෂෙබාබ් ත්‍රස්තයෝ පවසා ඇත. සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මෙම අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයයි. මොවුන් අත්වැල් බැඳගෙන සිටින්නේ උතුරු අප්‍රිකා අර්ධද්වීපයේ ක්‍රියාත්මක අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟය.

මියගිය 26 දෙනා අතර සිටින විදේශිකයන් වන්නේ කෙන්යානුවන්, ටැන්සානියානුවන්, ඇමෙරිකානුවන්, බි්‍රතාන්‍ය සහ කැනඩා ජාතිකයන්ය. කැනඩා සෝමාලි මාධ්‍යවේදිනියක වන හොඩාන් නලේයා සහ ඇගේ කැනඩා ජාතික සැමියා ද මියගිය අය අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සෝමාලියාවේ ‘අටිටීවී’ පුවත් නාළිකාව පිහිටුවන ලද්දේ හොඩාන් නලේයා ය.

සෝමාලියාවේ පළාත් පාලන මැතිවරණයක් තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතය ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයකු ද ත්‍රස්තයන් එල්ල කළප්‍රහාරයෙන් මියගොස් ඇතැයි සෝමාලි පුවත් සේවා වාර්තා කරයි.
අල් ෂෙබාබ් ත්‍රස්තයන් කණ්ඩායමක් ප්‍රහාරයට පැමිණ ඇත. ඔවුන් පළමුව කර ඇත්තේ බෝම්බ ඇටවූ මෝටර් රථයක් හෝටලයට කඩා වැදීමට සැලැස්වීමය.

එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් විය. එම ප්‍රහාරයෙත් සමඟ ඉතිරි ත්‍රස්තවාදීන් දකින දකින සැමට වෙඩි තබමින් හෝටලයට කඩා වැදුණු බව ආරක්ෂක අංශ කියයි.

සෝමාලි හමුදා සොල්දාදුවන් පැමිණ හෝටලය වට කළ අවස්ථාවේදී ත්‍රස්තවාදීන් සහ හමුදා සොල්දාදුවන් අතර පැය කීපයක දරුණු ගැටුම් සිදුවිය. පැය 14 කට පසු, ප්‍රහාරයට පැමිණි සියලුම ත්‍රස්තයන් මරා දැමීමට හැකිවුණු බව සෝමාලියානු හමුදා කර්නල් අබ්දිකාදීර් නූර් මාධ්‍ය හමුවේ සහතික විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS