සූකර උණ - ඩෙංගු වසංගතයක්



කේරළ ප්‍රාන්තයේ එච්1එන්1 හෙවත් සූකර උණ සහ ඩෙංගු උණ වසංගත තත්ත්වයක් පවතින බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.

ජනවාරියේ සිට මේ දක්වා සූකර සහ ඩෙංගු උණ වැළැදීමෙන් 420 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. රෝගීන් ගණන ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි ද පැවැසෙයි.

සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබුණු වාර්තා අනුව සෞඛ්‍ය ඇමැති ෂයිලාජා ප්‍රාන්ත මන්ත්‍රණ සභාව අමතමින් කියා සිටියේ පසුගිය මාසයේ පමණක් එච්1එන්1 රෝගීන් 74 දෙනකු සහ ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වුණු රෝගීන් 24 දෙනකු මියගොස් ඇති බවය.

උණ රෝගීන්ගේ ගණන ඉහළ ගොස් ඇත්තේත්, වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේත් කේරළ ප්‍රාන්ත රජය ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම නිසා යැයි කේරළ විපක්ෂ නායක රමේෂ් චෙන්තිතාලා චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් කේරළ ප්‍රාන්ත රජය වැඩි දුරටත් පවසා ඇත්තේ වයිරස උණ රෝග පාලනයට කඩිනමින් පියවර ගෙන ඇති බවය. මදුරුවන් මර්දනයට මදුරු කීයටයන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම සහ දුමායනය සිදු කරන බව ද පැවැසෙයි.

ඩෙංගු මෙන් නොව, එච්1එන්1 වයිරසය, පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ආසාදනය වන බව වෛද්‍යවරු කියති. එච්1එන්1 වයිරසය ආසාදනය වන්නේ ස්වසන පද්ධතිය හරහාය. එහෙයින්, එච්1එන්1 යැයි හඳුනාගත් රෝගීන් වෙන් කර ප්‍රතිකාර ලබා දීම සිදු කරන බව කේරළ සෞඛ්‍ය බලධාරීහු කියති.

කේරළ වැසියන්ට සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත්තේ ප්‍රසිද්ධ ස්ථානවල ගැවැසීමෙන් වළකින ලෙසත් මුහුණු ආවරණය කර ගෙන සිටින ලෙසත්ය. එච්1එන්1 උණ වයිරස රෝගීන් ඉන්දියාවේ මුම්බායි නුවරින් ද වාර්තා වී ඇත. සුපිරි බොලිවුඞ් නළු අමීර් ඛාන් සහ බිරිඳ කිරන් රඕ ද සූකර උණ වැළැදීමෙන් රෝහල් ගත කර ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS