සිරියාව තවත් රසායනික ප්‍රහාරයකට අරඅදිනවා



බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ රජය, තවත් විස වායු ප්‍රහාරයකට සූදානම් වෙනවා යැයි තම සී.අයි.ඒ. බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇතැයි ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත.

සිරියානු රජය සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එසේ විස වායු ප්‍රහාරයක් එල්ල කළහොත්, තමන් නිහඬව නොසිටින බව ද ට්‍රම්ප් පරිපාලනය අනතුරු ඇඟවා ඇත.

‘සිරියානු රෙජීමය, එරට වැසියන් ඉලක්ක කර ගනිමින් විස වායු ප්‍රහාරයක් එල්ල කළොත් ඵලවිපාක දරුණු වේවි. ඒක සහතිකයි’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙනුවෙන් ධවල මන්දිර ප්‍රකාශක මාධ්‍ය හමුවේ පවසා ඇත.

සිරියානු රජය මීට පෙර අවස්ථා ගණනාවකදී ‘සෙරීන්’ නමැති විස වායු යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත. තමන් කිසිම අවස්ථාවක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් විස වායු ප්‍රහාර එල්ල නොකළ බව සිරියානු රජය සහ ජනපති අසාද් පවසා ඇති නමුත් විස වායු ප්‍රහාර එල්ල වුණු බවට ප්‍රබල සාක්ෂි හමුවී ඇත.

පසුගිය අප්‍රේල් හතර වැනිදා ද සිරියානු රජයේ ගුවන් හමුදා විස වායු ප්‍රහාරයක් එල්ල කළේය. එයින් සිරියානු ගම් වැසියෝ 87 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙම ප්‍රහාරය හෙළා දුටු ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් වහා ක්‍රියාත්මක වී, සිරියානු රජය එම විස වායු ප්‍රහාරය එල්ල කිරීමට යොදා ගත් ෂයිරාත් නමැති ගුවන් කඳවුර මිසයිල ප්‍රහාරයකින් පහර දී විනාශ කර දැම්මේය. ඒ, මධ්‍යධරණී මුහුදේ රඳවා ඇති ඇමෙරිකන් ප්‍රහාරක යුද නැව් ආධාරයෙනි.

ඇමෙරිකා රජය පදනම් විරහිත චෝදනා කරමින් සිරියානු රජයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට එරෙහි වීමට තමන්ට සිදුවනු ඇතැයි රුසියාව පවසා ඇත. සිරියානු අර්බුදයේ දී රුසියාවේ සහාය හිමිවන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය.

(රොයිටර්)


RECOMMEND POSTS