සැප්තැම්බරයේ පාසල් අරිනවා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වසංගතය හමුවේ වසා දැමුණු පාසල් සියල්ල ලබන සැප්තැම්බරයේ සිට යළි විවෘත කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් අධ්‍යාපන කටයුතු පිළිබඳ ලේකම් (ඇමැති) බෙට්සි ඬේවොස් රූපවාහිනී සම්මුඛ සාකච්ඡා දෙකකට සහභාගී වෙමින් කියා සිටියේ වයිරස වසංගතය හමුවේ වුවත් සෞඛ්‍ය උපදෙස්වලට අනුව පාසල් විවෘත කිරීම සිදු කරනු ඇති බවය.

‘දරුවන් ආපසු පාසල් යන්න ඕනෑ. පාසල් පටන් ගන්න ඕනෑ. මාපියන් ඉන්නේ බයෙන් ඒ බව ජනපතිතුමා දන්නවා. සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්ෂිතව පාසල් පටන් ගන්න අප පියවර ගන්නවා’ යැයි සෞඛ්‍ය ලේකම්වරිය පැහැදිලි කළාය.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් පාසල් විවෘත කිරීමට දැන්ම කටයුතු නොකරන බව ඇමෙරිකන් ජනපද ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු ජනාධිපති ට්‍රම්ප්ට පෙන්වා දී ඇත. ජනපති ට්‍රම්ප් ඔවුන්ට තර්ජනය කර ඇත්තේ, තම අණට පිටුවා පාසල් විවෘත කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ජනපද මට්ටමින් ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කිරීමට පියවර ගන්නා බවය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ඇරැඹුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත් වී ඇත්තේ ඇමෙරිකාවය. ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

මේ වනවිට ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇත. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වුණු ආසාදිතයන් ගණන 15,000 ඉක්මවීය. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්තවීම ආරම්භ වූ අවස්ථාවේ පටන් එතක් දිනකදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන මිලියන 3.1 ක පසු කර ඇති අතර, ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,35,000 පසු කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS