සාම සැලැස්මට තලේබාන් සංවිධානයේ කැමැත්ත



මාස 18 ක් ඇතුළත ඇෆ්ගනිස්තානයේ සිටන තම හමුදා ඉවත් කර ගන්නා බව ඇමෙරිකාව ප්‍රකාශ කිරීමත් සමඟ, ඇමෙරිකාව ඉදිරිපත් කළ නව සාම යෝජනාවලියට තලේබාන් සංවිධානයේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වේ.

පසුගිය දින 6 පුරාවට ඇමෙරිකන් විශේෂ සාම නියෝජිත සැල්මී කලීසාද් සහ තලේබාන් සංවිධානයේ දේශපාලනික අංශ ප්‍රධානීන් අතර දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

වසර 17 ක් තිස්සේ ඔඩුදුවමින් පවතින ඇෆ්ගන් අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව එම සාකච්ඡා පැවැත් වූයේ කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලයේදීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් සැල්මී කලීසාද් විශේෂ සාම නියෝජිතයා ලෙස පත් කරනු ලැබුවේ ද ඇෆ්ගන් අර්බුදයට කඩිනමින් සාමකාමී විසඳුමක් සෙවීමේ අරමුණින්ය.
ඇමෙරිකා රජය සකස් කළ නව සාම යෝජනාවලියට අනුව, ඇමෙරිකන් හමුදා මාස 18 ක් ඇතුළත ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව යෑමට නියමිතය.

පසුගිය කාලය පුරාවට තලේබාන් සංවිධානය සාමයට කැමැත්තක් දැක්වුවද දිගින් දිගටම පවසා තිබුණේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වන්නේ නම් පමණක් සාම සාකච්ඡා පවත්වන බවය.

කෙසේ නමුත් ඇමෙරිකන් හමුදා මාස 18 ක් ඇතුළත ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නා බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමෙන්තුව මෙතෙක් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර නැත. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම සැල්මී කලීසාද් ද අවධාරණය කරඇත්තේ තලේබාන්වරුන් සටන් විරාමයකට කැමැත්ත පළ කළොත් පමණක්, තම සාම යෝජනාවලිය ඉදිරියට ගෙනයන බවය.

කාබුල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS