සාම ත්‍යාගය ඉතියෝපියාවේ අගමැතිවරයාට



ඉතියෝපියා අගමැති ඇබි (වමේ) එරිත්‍රියා ජනාධිපති ඉසයියාස් ඇෆ්වෙර්කී සමඟ එක් වී, අඩිස් අබාබා අගනුවර එරිත්‍රියා තානාපති කාර්යාලය විවෘත කළ අවස්ථාව ...

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ අගමැති ඇබි අහ්මද්ට පිරිනැමීමට නෝර්වේජියානු නොබෙල් කමිටුව තීරණය කළේය.

නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පිරිනැමෙන මුදල ක්‍රොනෝ මිලියන 9 (මෙය ඇමෙරිකන් ඩොලර් නම ලක්ෂ විසි දහසකට ආසන්න මුදලකි.)

ඉතියෝපියාවේ අසල්වැසියා වන්නේ, එරිත්‍රියාවය. ඇබි අහ්මද්ට සාම ත්‍යාගය පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කළේ ඔහු අසල්වැසි එරිත්‍රියාව සමඟ වසර 20 ක් තිස්සේ පැවැති යුද ගැටුම් අවසන් කිරීමට පියවර ගැනීම හේතුවෙනි.

ඉතියෝපියාවත් එරිත්‍රියාවත් අතර ගැටුම් පැවැතියේ දෙරට දේශසීමා මුල්කොට ගනිමිනි. එම දේශසීමා ගැටුම් දෙරටට විශාල වශයෙන් බලපෑම් එල්ල කළේය. 43 හැවිරිදි ඇබි අහ්මද් ඉතියෝපියාවේ අගමැති ධුරයට පත් වූයේ 2018 අප්‍රේල් මාසයේදීය. ඔහු ඔරෝමෝ ගෝත්‍රික වැසියෙකි. ඔරෝමෝ වැසියකු අගමැති ධුරයට පත් වුණු පළමු අවස්ථාව ද මෙය යැයි ද පැවැසෙයි.

අද වනවිට ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවතී. ඉතියෝපියා අගමැති ඇබි අහ්මද්, එරිත්‍රියා ජනාධිපති ඉසයියාස් ඇෆ්වෙර්කී සමඟ සාම කතා ආරම්භ කළ අවස්ථාවේදී, ඉතියෝපියා විදේශ කටයුතු අමත්‍යාංශය හෝ රජයේ මැති ඇමැතිවරුන් හෝ ඒ ගැන නොසිටි බව පැවසෙයි.

අගමැති ධුරයට පත් වී මාස කීපයක් ඇතුළත අගමැති ඇබි පැවැත්වූ එම සාම කතා පිළිබඳ දැන සිටියේ අගමැතිවරයාගේ සමීපතමයන් කිහිප දෙනකු පමණි.

එරිත්‍රියා ජනාධිපති ඉසයියාස් ඇෆ්වෙර්කී 2018 ජූලි 16 වැනිදා ඉතියෝපියා අගමැති ඇබි අහ්මද් සමඟ එක්වී, ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර එරිත්‍රියා තානාපති කාර්යාලයක් ද විවෘත කළේය.

දශක ගණනාවක් පුරා පැවැති ගැටුම් අවසන් කිරීමට අගමැති ඇබි, නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිර්භීත චරිතයක් යැයි නෝර්වේජීයානු නොබෙල් කමිටුව පැහැදිලි කර තිබේ. නොබෙල් ත්‍යාග ප්‍රදානය සිදුවන්නේ ස්වීඩන සහ නොර්වේජියානු නොබෙල් කමිටුවල එකමුතුවෙනි. සාම ත්‍යාගය පිරිනැමීම සිදු කරනු ලබන්නේ නෝර්වේජියානු නොබෙල් කමිටුව මගිනි.

ඔස්ලෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS