ස්පේස් එක්ස් රොකට්ටුව උඩ යයි



වසර නවයක විරාමයකින් පසු, ඇමෙරිකාවේ නිෂ්පාදිත රොකට්ටුවක නැගී ඇමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමීහු දෙදෙනක් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියහ.

ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් නමැති එම නාසා ගගනගාමීන් දෙදෙනා උඩුගුවන බලා ගියේ ‘ස්පේස් එක්ස්’ සමාගම නිර්මාණය කළ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ සහ ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයේ ආධාරයෙනි. ස්පේස් එක්ස් පෞද්ගලික සමාගම මේ වනවිට නාසා ආයතනය සමඟ අත්වැල් බැඳ ගනිමින් සිටී. ඒ, ඇමෙරිකන් ඩොලර් බිලියන 2.6 ක ගිවිසුමකට ද අත්සන් තබමිනි. ‘ස්පේස් එක්ස්’ සමාගමේ හිමිකරු වන්නේ බිලියනපති ව්‍යාපාපාරික ඉලොන් මුස්ක් ය.

‘ඩ්‍රැගන්’ කැප්සියුලය, ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ ඉහළින් සවි කෙරෙන අතර, උඩු ගුවන බලා යන්නේ මෙයයි. ‘ෆෝල්කන් 9’ රොකට්ටුවෙන් කෙරෙන්නේ ඊට තල්ලුවක් දීමය. උඩු ගුවන බලා යද්දී රොකට්ටුව අවස්ථා කීපයක දී කැබැලි වී පහළ මුහුදට වැටුණු අතර, යළි භාවිතය සඳහා එය සොයා ගැනීම සිදුවූයේ ඇමෙරිකන් නාවික හමුදාවේ මැදිහත් වීමෙනි. රොකට්ටුවෙන් මිදී ‘ඩ්‍රැගන්’ කැප්සියුලය, අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ වන අතර, ගගනගාමීන් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිට ආපසු පෘථිවියට පැමිණෙනු ඇත්තේ ද ‘ඩ්‍රැගන්’ කැප්සියුලයෙනි.

ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවෙන් ‘ස්පේස් එක්ස් ෆෝල්කන් 9’ රොකට්ටුව ගුවන්ගත වූයේ ඇමෙරිකාවේ වේලාවෙන් සවස 4.33 ටය. නාසා ආයතනය ඔවුන්ගේ රොකට්ටු ගුවන්ගත කිරීම සිදු කරනු ලබන්නේ කැනවරල් තුඩුවේ පිහිටා ඇති ගගන මධ්‍යස්ථානයෙනි. ‘ෆෝල්කන් 9’ රොකට්ටුව අඩි 229.5 ක් උසය. 1969 වසරේ නිල් ආම්ස්ට්‍රෝන් ප්‍රමුඛ ගගනගාමීන් සඳට ගියේ ‘සැටර්න් වී’ රොකට්ටුවේ ආධාරයෙනි. මෙම රොකට්ටුයේ උස අඩි 363 ක් විය. උඩු ගුවනය යෑමටත් ඒමටත් නාසා ආයතනය භාවිතයට ගත් අභ්‍යවකාශ ෂටලයක උස අඩි 184 කි. රුසියානුවන් භාවිතයට ගන්නා ‘සෝයූස්’ රොකට්ටුවක උස අඩි 150 කි.

සඳ තරණයෙන් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමට මැදිහත් විය. ඒ, රුසියානු අභ්‍යවනකාශ ආයතනය සහ ලොව සෙසු අභ්‍යවකාශ ආයතන සම්බන්ධකර ගනිමිනි. අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමේ දී නාසා ආයතනය පෘථිවි කක්ෂයට ගගනගාමීන් සහ භාණ්ඩ ගෙන ගියේත් ආපසු රැගෙන ආවේත් ෂටල ආධාරයෙනි. ෂටල යානා භාවිතය ඉතා මිල අධික විය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකර අවසන් වූ පසු ෂටල භාවිතයෙන් ඉවත් කෙරුණි. ඒ, 2011 වසරේදීය.  එදා සිට මේ දක්වා ඇමෙරිකන් නාසා ගගනගාමීන් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන්නේත් එන්නේත් රුසියානුවන්ගේ සෝයූස් කැප්සියුල සහ රුසියානු රොකට්ටු ආධාරයෙනි.

මේ වනවිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇති රට ඇමෙරිකාවය. ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ ගුවන් ගමන සිදුවූයේ නිරෝධායන නීතිවලට අනුවය. ගගනගාමීන් බොබ් සහ ඩග් දෙදෙනා ගමනට කලින් නිරෝධායනය කෙරුණි. නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ වූයේ මැයි 13 වැනිදා සිටය. ගගනගාමීන් දෙදෙනා පළමුවෙන් ඔවුන්ගේ නිවෙස්වලත් පසුව නාසා අයතනයේ විශේෂ කාමරයක් තුළත් නිරෝධායනය කර තැබුණි. ඒ, අභ්‍යවකාශ නැවැතුම්පොළට වයිරසය පැතිරීමේ අවදානම වළක්වා ගැනීමටය. ‘ෆෝල්කන් 9’ රොකට්ටුවට ගොඩවෙද්දී පවා බොබ් සහ ඩග් දෙදෙනාගේ උෂ්ණත්වය පරීක්ෂාවක් සිදුවිය.

බොබ් සහ ඩග් දෙදෙනාට සුබ පැතීමට ස්පේස් එක්ස් සමාගමේ හිමිකරු මෙන්ම ප්‍රධානියා ද වන ඉලොන් මස්ක් පැමිණ සිටියේ මුහුණු ආවරණයක් පැලඳ ගනිමිනි. එම මුහුණු ආවරණයේ ද ‘ස්පේස් එක්ස්’ යනුවෙන් සටහන් කර තිබුණි. නාසා ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් මීටරයේ දුර ආරක්ෂා කරමින් ගගනගාමීන් දෙදෙනා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකළේය. ගගනගාමීන්ගේ ගගන ඇඳුම නිර්මාණය කර ඇත්තේ ද ඉයන් මස්ක්ගේ සංකල්පයකට අනුවය. හොලිවුඩයේ අභ්‍යවකාශ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරන නිර්මාණකරුවන් ඒ සඳහා හවුල් කර ගැනීමට ද බ්‍රයිඩන්ස්ටයින් පියවර ගෙන ඇත.

ඉලොන් මස්ක් දකුණු අප්‍රිකාවේ උපත ලබා ඇමෙරිකාවට පැමිණ අති නවීන තක්ෂණය යොදා ගනිමින් නිර්මාණ කර බිලියනපතියෙකු වූ අයෙකි. අද ලොව අංක එකේ විද්‍යුත් මෝටර් රථ සහ බැටරි නිපදවන ටෙස්ලර් සමාගමේ හිමිකරු වන්නේ ද මස්ක් ය. කැලිෆෝනියාව කේන්ද්‍රකොට ගනිමින්, ස්පේස් එක්ස් සමාගම ආරම්භ කළේ 2002 දීය. ඒ, අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණයට ලක් කිරීමේ අරමුණ ඇතිවය. බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දී, ඇමෙරිකාවේ පෞද්ගලික සමාගම් කිහිපයක් නාසා ආයතනයට සම්බන්ධ කළේය. ඒ අනුව, ‘ස්පේස් එක්ස්’ සමාගම නාසා ආයතනය සමඟ එක් විය. ස්පේස් එක්ස් ‘ෆෝල්කන් 9’ රොකට්ටුව සහ එම රොකට්ටුවට සම්බන්ධ කෙරෙන ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලය අත්හදා බලමින් නිර්මණය වූයේ ඉන්පසුවය.

‘ෆෝල්කන් 9’ ගුවන්ගත වනු දැක ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැමිණියේය. ජනපති ට්‍රම්ප් සමඟ උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු ධවල මන්දිර නිලධාරීන් බොහෝ දෙනෙක් ද කැනැවරල් තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණ සිටියහ.

‘ෆෝල්කන් 9’ රොකට්ටුව සාර්ථකව ගුවන්ගත වෙද්දී රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත හැරෙමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේ, වසර නවයකට පසු ඇමෙරිකාව යළි ඇමෙරිකාවේ නිපදවූ රොකට්ටුවකින් ගගනගාමීන් උඩු ගුවනට යැවීම සැබැවින්ම ආඩම්බරයක් යැයි ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ ද ආඩම්බරයෙනි.

නාසා ආයතනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS