සහන සේවකයෝ ලක්ෂයක්



‘හැගිබිස්’ සුළි කුණාටුවෙන් විපතට පත්වුණු වැසියන්ට පිහිටවීමට සහන සේවකයන් 1,10,000 ක් යොදවා ඇති බවත්, ඔවුන්ගේ සහායට හමුදා සොල්දාදුවන් 31,000 ක් සිටින බවත් ජපාන රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පැයට කිලෝ මීටර් 225 ක වේගයකින් හමා ආ හැගිබිස් සුළි කුණාටුව ජපානයට කඩා වැදුණේ පසුගිය සෙනසුරාදා (12) ය. දශක හතරකට පසු ජපානයට කඩා වැදුණු ප්‍රබලතම සුළි කුණාටුව මෙය යැයි ජපන් කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේවනවිට සුළි කුණාටුව සෙමින් සෙමින් ජපානයෙන් ඉවතට ගමන් කළ අතර, සහන සේවකයන්ට විපතට පත්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට හැකියාව ලැබුණි.

සුළි කුණාටුව 37 දෙනකු බිලිගත් බවත්, තවත් 20 දෙනකු අතුරුදන් බවත් ජපානයේ එන්.එච්.කේ. පුවත් සේවය වාර්තා කර තිබේ. ‘හැගිබිස්’ සුළි කුණාටුව ජපානයේ පළාත් අටක් හරහා හඹා ගියේය. නගානෝ පළාත මේ වනවිට මුළුමනින්ම පාහේ ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

හකෝනේ නගරයට පැය 48 ක් ඇතුළත මීටරයක වර්ෂාපතනයක් ලැබුණු බව පැවැසෙයි. පැය 48 ක් පුරාවට ජපානයට ඇද හැලුණු වැඩි වර්ෂාපතනය මෙය යැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. නගර රැසක් ජලයෙන් යටවූයේ ගංගා පිටාර ගැලීමෙනි. ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රැසක් සුළි කුණාටුව හේතුවෙන් වසා දැමුණි. ඒවායේ කටයුතු අද (14) වනවිට යළි යථා තත්ත්වයට පත්වනු ඇති බව පැවැසෙයි.

කිමිඳුම් කට්ටලවලින් සැරැසුණු සහන සේවකයන් ජලයෙන් යටවූ නිවාස සහ ගොඩනැගිලි සෝදිසි කළ බව ජපන් පුවත් සේවා වාර්තා කළේය. පළාත් රැසක ජල ගැලීම් සහ නායයෑම් වාර්තා වේ. ජල ගැලීම්වලට ලක් වී නිවාසවල කොටුවුණු පිරිස් මුදා ගැනීමට හෙලිකොප්ටර් යානා යොදවා තිබුණි.

ජපන් පුවත් සේවා වාර්තා කළේ නිවාස 2,62,000 කට විදුලිය නොමැති බවය. සුළි කුණාටුව ගැන බලධාරීන් කල් තියා අනතුරු ඇගවීමත් සමඟ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ පිරිස 50,000 කි. සහන කඳවුරුවල මෙම පිරිස රැඳී සිටින බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

‘හැගිබිස්’ සුළි කුණාටුව ජපානයට කඩා වැදුණේ රග්බි ලෝක කුසලාන තරගය ජපානයේ පැවැත්වෙමින් තිබියදීය. සුළි කුණාටුව සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමින් තරගාවලියට අයත් තරග තුනක් අවලංගු කිරීමට බලධාරීහු කටයුතු කළහ. අවලංගු කළ තරග තුනෙන් එකක් වන්නේ ජපානය සහ ස්කොට්ලන්තය අතර තරගයයි.  

ටෝකියෝ (ඒ.එෆ්.පී./එන්.එච්.කේ.)


RECOMMEND POSTS