සවුදි හිරෙන් බහරේනයට



ත්‍රස්තවාදයට සම්බන්ධ චෝදනා යටතේ වසර 13ක් තිස්සේ සවුදි අරාබියේ බන්ධනාගාර ගතකර සිටි බහ්රේන ජාතිකයෙක් පසුගිය අඟහරුවාදා ආපසු බහරේනයට පැමිණියේය.

අබ්දුල්රහිම් අල් මුර්බාති නම් වූ මෙම බහ්රේන ජාතිකයා අත් අඩංගුවට ගනු ලැබුවේ 2003 වසරේ ජූනි 16දාය. ඒ එම මාසයේදී සවුදි අරාබියේ රියාද් නුවර සිදුවූ බෝම්බ පිපිරීමක් සම්බන්ධයෙනි. ඔහු ආපසු බහරේනයට පැමිණි බව එරට මානව හිමිකම් ක්‍රියාකාරීහු සහතික කර කියා සිටියහ.

බහරේන මානව හිමිකම් නිරීක්ෂණ සමාජයේ මහ ලේකම් ෆයිසාල් ෆුලාද් ඒ බව සහතික කර කියා සිටියේය. ‘මම අල් මුර්බාතිටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් ප්‍රීතිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා “ වසර දහයක පමණ කාලයක් අල් මුබාති පිළිබඳව විමසිල්ලෙන් පසුවූ ෆලාද් පැවසීය.

කෙසේ වෙතත් අල් මුර්බාති සම්පූර්ණ නිදහස ලැබුවේද නැතහොත් ඔහුගේ සිර දඬුවමේ ඉතිරි වසර 15 ගතකිරීම සඳහා බහරේන බලධාරින්ට බාර දුන්නේද යනු කරැණු ගැන විස්තර අනාවරණය කිරීමෙන් ෆුලාද් වැළකී සිටියේය.

අල් මුර්බාති අත් අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ. ඔහු අත් අඩංගුවට ගනු ලැබුවේ කිසිදු පදනමක් නොමැතිව බව ඔවුහු කියා සිටියහ.

( ඡායාරූපයෙන් දැක්වෙන්නෙ අල් මුර්බාතිගේ පවුලේ සාමාජිකයන් 2010 වසරේදී විරෝධතාවක නිරත වූ අන්දමයි)

(ඩේලි ට්‍රිබියුන් ඇසුරෙනි)


RECOMMEND POSTS