සම්බාධක ලිහිල් කරන්න සූදානම්



උතුරු කොරියාව අවංක චේතනාවෙන් සාමයට කැපවී සිටින බැවින්, තමන් එරටට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම කෙරෙහි අවදානය යොමු වී ඇතැයි දකුණු කොරියාව නිවේදනය කළේය.

උතුරු කොරියාවට අසල්වැසි දකුණු කොරියාව පමණක් නොව, ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සම්බාධක පනවා ඇත. ඒ, උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන හේතුවෙනි.

කෙසේ නමුත් මේ වනවිට උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමයට කැපවී සිටින අතර, ඔහු දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ රජය සමඟත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමඟත් යහපත් සබඳතා පවත්වයි. න්‍යෂ්ටික අවිහරණය ද සිදු කරන බව පැවැසෙයි.

උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය සිදු කරන බැවින්, එය ඇගැයීමට ලක් කරමින්, තමන් විසින් ඒකපාක්ෂිකව උතුරු කොරියාවට පැනවූ සම්බාධක ලිහිල් කිරීමට කෙරෙහි සලකා බැලීමක් කරන බව දකුණු කොරියා රජය වෙනුවෙන් මාධ්‍ය හමුවේ කියා සිටියේ එරට විදේශ ඇමැති කංග් ක්යොං වා ය.

ඇමෙරිකාව මීට පෙර, දකුණු කොරියාවට පමණක් නොව, උතුරු කොරියාවට සම්බාධක පැනැවූ සෙසු විදේශවලට දන්වා තිබුණේ, උතුරු කොරියාව මුළුමනින්ම න්‍යෂ්ටික අවිහරණයක් සිදු කරන තුරු පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන ලෙසය.

කෙසේ නමුත් දකුණු කොරියාව පෙන්වා දී ඇත්තේ උතුරු කොරියාව එම කටයුතු ආරම්භ කර ඇති බැවින් ඔවුන් තවත් දිරිමත් කිරීමට සම්බාධක ලිහිල් කළ යුතුයි කියාය. උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම සිදුවනු ඇත්තේ දකුණු කොරියා පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසුමකින් පසුවය.

දකුණු කොරියාව උතුරු කොරියාවට සම්බාධක දැමීමක් කළේ 2010 වසරේදීය. ඒ, උතුරු කොරියාවෙන් එල්ල වූ ප‍්‍රහාරයකින් දකුණු කොරියා යුද නැවක් විනාශ වී, දකුණු කොරියා නාවික භටයන් 45 දෙනකු මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමිනි.

ඊට අමතරව, 2016 වසරේ උතුරු කොරියාවෙන් එල්ල වුණු මිසයිල ප‍්‍රහාර හෙලා දකිමින්, උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ පිහිටුවා ඇති දෙරටටම පොදු කර්මාන්ත කලාපය පවා දකුණු කොරියාව වසා දැමීමක් කළේය. සම්බාධක ඉවත් කළොත් මෙම කලාපය යළි විවෘත වනු ඇති අතර, එමගින් උතුරු කොරියානුවන් බොහෝ දෙනකුට නව රැුකියා අවස්ථා උදා වනු ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS