සත පහක උදව්වක් නෑ



පාකිස්තාන රජයෙන් ඇමෙරිකාවට ‘සත පහක උදව්වක්’ නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මෙසේ පාකිස්තානයට චෝදනා කළේ ඇමෙරිකාව විසින් පාකිස්තාන රජයට ලබා දෙන්න වූ ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක ආධාර නැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කරමිණි.

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ප්‍රහාරයෙන් පසු, අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන්ගේ ආරක්ෂාව පැතුවේය.

ඒ වනවිට ඇෆ්ගනිස්තානයේ පැවැතියේ තලේබාන් හිතවාදී රජයකි. ඇමෙරිකාව නේටෝ සාමාජිකයන් ද හවුල් කර ගනිමින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින් තලේබාන් පාලනය පෙරළා දැම්මේය. ඇෆ්ගන් යුද්ධය ඇරැඹුණේ ඒ අනුවය.

ඇෆ්ගන් යුද්ධයේදී ඇෆ්ගනිස්තානයේ අසල්වැසියා වන පාකිස්තාන රජයේ සහාය ඇමෙරිකාව ලබා ගත්තේය. ඇමෙරිකන් හමුදා කඳවුරු බැඳ ගත්තේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ පාකිස්තානයට අයත් භූමි ප්‍රදේශයේය.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට තමන්ට සහාය දීම හේතුවෙන් ඇමෙරිකාව, පාකිස්තාන රජයට මුදල් ආධාර ලබා දීම ඇරැඹීය. ට්‍රම්ප් පරිපාලනය විසින් නවතා දමනු ලැබුවේ මෙම මුදල් ආධාරය.

ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකන් හමුදා එක් වී, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දමද්දී, බින් ලාඩන් සැඟවී ජීවත් වෙමින් සිටියේ, පාකිස්තානයේ ඇබොට්ටාබාද් නමැති නගරයේය. ඇබොට්ටාබාද් නගරය පිහිටා ඇත්තේ, පාකිස්තානයේ හමුදා කඳවුරු රැසක් ඇති අධි ආරක්ෂිත කලාපයකය.

ඔසාමා බින් ලාඞ්න් ඝාතන මෙහෙයුම ඇමෙරිකාව සිදු කළේ රහසිගතවය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ ඩිමොක්‍රටික් පාක්ෂික බැරැක් ඔබාමාය. ඔසාමා බින් ලාඩන් මරා දැමීම සිදුවූයේ පාකිස්තාන රජයට හෝ එරට බුද්ධි අංශවලට නොදන්වාය. එවකට පැවැති පාකිස්තාන රජය තරයේ කියා සිටියේ බින් ලාඩන් ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වන බව තමන් දැන නොසිටි බවය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS