සටන් විරාමයකට එකඟවෙති



ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සටන් විරාමයකට එකඟ වූ බව ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී පවසයි. පොදු එකඟතාවක් මත සටන් විරාමය අද (7) සිට ආරම්භ වූ බවත් එය ලබන 20 වැනිදා තෙක් ක්‍රියාත්මක වනු ඇති බවත් ඇෆ්ගන් ජනාධිපති ඝානී නිවේදනය කළේය. ඇෆ්ගන් ජනාධිපති මේ බව නිවේදනය කළේ එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි.

රාමදාන් සමය අවසන් වනතුරු සටන් විරාමය ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. සටන් විරාමයකට තලේබාන් ත්‍රස්ත සංවිධානය කැමැත්ත පළ කිරීම ප්‍රශංසනීය යැයි ද ඇෆ්ගන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට සහාය දක්වන බවට චෝදනා කරමින් 2001 වසරේ දී ඇමෙරිකාව සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය.

ඒ වනවිට ඇෆ්ගනිස්තානයේ පැවැතියේ තලේබාන් පාලනයකි. තලේබාන්වරුන් අවි අතට ගෙන විදෙස් හමුදා සමඟ සටන් ආරම්භ කළේය. තලේබාන් සංවිධානය බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් බවට පත් වූයේ ඉන් පසුවය.

වසර 16 කට පසු ඇෆ්ගන් යුද්ධය අවසන් වුවත්, තලේබාන් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට ඇෆ්ගන් රජයට හෝ විදෙස් හමුදාවලට හෝ හැකියාව ලැබී නැත.

තලේබාන් සංවිධානය සමඟ අර්බුදය දේශපාලනික මට්ටමින් විසඳිය යුතු බව ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානීගේ අදහස වී තිබේ. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී තලේබාන් නායකයන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමටත් සටන් විරාමයකට යෑමටත් උත්සාහ කළේය. එහෙත් එම උත්සාහය සාර්ථක නොවිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS