සංචාරක වීසාවලින් ඕමානයට ගොස් රැකියා කරනවාට වැට බඳී



( තිළිණි ද සිල්වා )

ඉකුත් දා ශ්‍රී ලංකා විදේශ රැකියා කටයුතු භාර අමාත්‍යවරිය තලතා අතුකෝරල ඕමානයේ සංචාරයක නිරත වූ අවස්ථාවක එරට සිදුවන ගෘහ සේවිකා ජාවාරම සම්බන්ධයෙන් එරට රජය සමග සාකච්ඡා පැවැත්වූවාය. එම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ඔමානයට සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන්ට රැකියා වීසා බලපත් වලට මාරුවීමට ඇති ඉඩකඩ ඇහිරීමට ඕමාන රජය ක‍ටයුතු කරන බවට එකඟතාව පළ කොට ඇත.

ඊට අමතරව යම් කිසි ශ්‍රී ලාංකිකයකු එලෙස ඕමාන සංචාරක වීසා බලපත්‍රයක් රැකියාවක් වෙනුවෙන් වෙනස් කිරීමට ඉල්ලුම් කළ අවස්ථාවක ඊට අනුමැතිය ලබා දීමට පෙර ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගැනීමට ඕමාන රජය එකඟ වී තිබේ.

ඕමාන් හි පවතින ලිහිල් වීසා රෙගුලාසි නිසා එරට සංචාරයට යන බව පවසමින් වීසා බලපත් ලබා ගන්නා පුද්ගලයන්ට රටට ඇතුළු වීමෙන් පසු රැකියා වීසා බලපත් වලට මාරු වීමේ හැකියාව පවතින බවත් , මේ හේතුවෙන්  ජාවාරම්කරුවන් විසින් ඕමානයේ දී ශ්‍රම සුරා කෑමට ගන්නා ගෘහ සේවිකාවන් අතර ශ්‍රී ලාංකික කාන්තාවන් වැඩිපුර සිටීම හේතුවී ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

තවද එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ශ්‍රී ලංකාවෙන් සහ අනිකුත් රටවලින් ගෙන්වා ගනු ලබන ගෘහ සේවිකාවන් දේශ සීමාව තරණය කරවා ඕමානය වෙත ගෙන යාමේ ජාවාරමක් පවතින බවද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී..

ශ්‍රී ලංකාව ඇතුළු තවත් ආසියාතික රටවල කාන්තාවන් රැකියා සඳහා අවශ්‍ය වීසා නොමැතිව ඔමානයට යැවීමේ ජාවාරමක් පිළිබඳව පසුගියදා 'ඕමාන් ටයිම්ස්' පුවත්පතේ ලිපියක්ද පළවිණි.


RECOMMEND POSTS