සංක්‍රමණික නීති ලිහිල්



තම බිරිය මෙලානියා ට්‍රම්ප්ගෙන් පමණක් නොව, ඇමෙරිකා ජනතාවගෙන් ද දිගින් දිගටම එල්ල වූ විරෝධය සැලකිල්ලට ගනිමින්, නව සංක්‍රමණික නීති ලිහිල් කිරීමේ විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (21) අත්සන් තැබුවේය.

ට්‍රම්ප් පරිපාලනය විසින් හඳුන්වා දී, ක්‍රියාවට නැංවූ නව සංක්‍රමණික නීති මුල්කොට ගනිමින්, දෙමාපියන්ගෙන් දූ දරුවන් වෙන් වීමේ අවදානමක් මතු විය.

විවිධ දුෂ්කරතා මැද ඇමෙරිකාවට පැමිණ සිටින බොහොමයක් අනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගෙන නොමැති අතර, ඇමෙරිකාවේ දී ඔවුන්ට උපන් දරු දැරියන්ට ඇමෙරිකන් පුරවැසිභාවය ලැබී තිබේ.

නව සංක්‍රමණික නීති හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන් බොහෝ අනවසර සංක්‍රමණිකයන්, අසල්වැසි මෙක්සිකෝ වැසියන් බව පැවැසෙයි.

‘අපි අපේ දේශසීමා නීතිරීති දැඩි කරනවා. ඒත්, අම්මලා තාත්තලාගේන් දරු දැරියන් වෙන් කරන්නේ නැහැ. පවුල් කඩන්න අපට ඕනෑකමක් නැහැ’ යනුවෙන් විධායක නියෝගයට අත්සන් තබමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

හඳුන්වා දී ක්‍රියාත්මක කරන දළදඬු සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මීට පෙර අවස්ථා ගණනාවකදී අවධාරණය කළේ, ඇමෙරිකාව සංක්‍රමණික කඳවුරක් නොවන බවත්, එසේ වීමට තමන් කිසිසේත් ඉඩක් ලබා නොදෙන බවත්ය.

නව සංක්‍රමණික නීති හේතුවෙන් දෙමාපියන්ගෙන් වෙන්වුණු දරුදැරියන් ගණන 2,000 කි. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප්ට ඇමෙකානු වැසියන්ගෙන් පමණක් නොව ජාත්‍යන්තරයෙන් ද දැඩි විරෝධයක් එල්ල විය.

ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් ද දිගින් දිගටම සැමියා ට්‍රම්ප්ට කියා සිටියේ දෙමාපියන්ගෙන් දරුවන් වෙන් නොකරන ලෙසය. එල්ල වුණු අප්‍රසාදය සහ විරෝධය මැද ට්‍රම්ප් සිය නීතිරීති වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS