ශ්‍රීදේවිට අවසන් ගෞරව



බොලිවුඞ් නිළි රැජින ශ්‍රීදේවිගේ දේහය ඊයේ (29) විශේෂ ගුවන් යානයකින් මුම්බායි නුවර ඇය සහ ඇගේ සැමියාගේ මුම්බායි නිවසට ගෙනා අතර අද (28) දේහය උදෑසන 9.30 සිට මුම්බායි නුවර ‘සෙලබ්‍රේෂන්’ ක්‍රීඩා සමාජයේ මහජන ගෞරවය සඳහා දේහය තැම්පත් කෙරුණි.

මහා ජන ගංගාවක් ශ්‍රීදේවිට අවසන් ගෞරව දැක්වීම සඳහා ක්‍රීඩා සමාජයට පැමිණි බව වාර්තා වේ. දේහය ක්‍රීඩා සමාජ ශාලාවේ තැම්පත් කෙරුණු අවස්ථාවේදී, ශ්‍රීදේවිගේ ඥාති දියණියක වන සෝනම් කපූර්, අක්ෂේ කන්නා, අර්බාස් ඛාන්, අයිස්වර්යා රායි, සුෂ්මිතා සෙන්, තාබු ආදී බොලිවුඞ් නළු නිළියෝ පැමිණ අවසන් ගෞරව දැක්වූහ.

සෝනම් කපූර්, ශ්‍රීදේවිගේ ඥාති දියණියකි. ශ්‍රීදේවි අවසන් වරට රංගනයෙන් දායක වූයේ 2017 වසරේ තිරගත වුණු ‘මාම්’ චිත්‍රපටයටය. ඇය එහි රංගනයේ යෙදුණේ අක්ෂේ කන්නා සමඟය.

ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වූයේ පසුගිය 24 වැනිදාය. ඒ වනවිට ඇය සැමියා බොනී කපූර් සහ එක් දියණික සමඟ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවරට ගොස් සිටියාය.

සැමියා බොනී කපූර්ට ඇය හමුවෙද්දී ඇය හෝටලයේ නාන කාමරයේ සිහිසුන්ව සිටි බවත්, රෝහලට ගෙන යද්දී ඇය මියගොස් සිටි බවත් අනාවරණය වී තිබේ.

ඩුබායි පොලිසිය ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා, බොනී කපූර්ගෙන් ප්‍රකාශයක් ද ලබා ගැනීමෙන් අනතුරුව, දේහය පවුලේ ඥාතීන් වෙත බාරදීම ඊයේ (27) සිදුවිය. ඒ අනුව, විශේෂ ගුවන් යානයකින් දේහය ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන එන ලද්දේ  ඊයේ සවසය.

දේහයට නිවසට ගෙනා අවස්ථාවේදී බොලිවුඩයේ සුපිරි නළු නිළියන් පමණක් නොව, ශ්‍රීදේවිගේ රසික රසිකාවියන් දහස් ගණනක් අවසන් ගෞරව දැක්වීමට නිවස අසල රැඳී සිටි බවත්, එම අවස්ථාවේදී කලහකාරී තත්ත්වයක් නිර්මාණය වුණු බවත් වාර්තා විය. දේහය මුම්බායි නුවර ශ්‍රීදේවිගේ නිවසට ගෙන එන ලද්දේ පොලිස් ආරක්ෂාව මැදය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS