වෛද්‍යවරු 382 ක් කොරෝනාට බිලි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය ඉන්දීය වෛද්‍යවරුන් ගණන 382 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

‘කොවිඞ් 19’ ආසාදනය වී, මියගිය ළාබාලතම වෛද්‍යවරයාගේ වයස අවුරුදු 27 ක් බවත්, වයස්ගතම වෛද්‍යවරයාගේ වයස අවුරුදු 85 ක් බවත් පැවැසෙයි.

මේ වනවිට ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන 5,118,253 ක් දක්වා ඉහළ ගියේය. සමස්ත මරණ වාර්තා වූයේ 83,300 ක් ලෙසිණි.

ඉන්දියාවේ බන්ධනාගාර 351 ක සිරකරුවන් 1,400 ක පිරිසක් ද කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට වැඩිම ආසාදිත සිරකරුවන් හමුවී ඇත්තේ උත්තර ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්තවල බන්ධනාගාරවලිනි.

මේ අතර, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවූ ‘ස්පුට්නික් 5’ එන්නත ඉන්දියාවට විකිණීමට රුසියාව සූදානම් වෙයි. ඒ, ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක් සමඟ ඇති කරගත් එකඟතාවකට අනුවය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS