වෛද්‍ය ෆවුචි සමඟ කිසිම ගැටුමක් නෑ



ඇමෙරිකන් බෝවන රෝග පිළිබඳ විද්‍යායතනයේ ප්‍රධානියා මෙන්ම වයිරස සම්බන්ධ විශේෂඥවරයකු ද වන වෛද්‍ය ඇන්තොනි ෆවුචි සහ තමා අතරේ කිසිදු ගැටුමක් නැතැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තහවුරු කර තිබේ.

‘මා ජනාධිපති ධුරයට පත්වූ දා සිට වෛද්‍ය ෆවුචි සමඟ යහපත් සබඳතා පවත්වනවා. කිසිම අවස්ථාවක එය වෙනස් වෙලා නැහැ. ඔහු බොහොම යහපත් කෙනෙක්. ඔහු කියන හැමදේමට මා එකඟ නොවන්න පුළුවන්. ඒත් ඔහු සහ මා අතරේ කිසිදු ගැටුමක් නැහැ’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වෛද්‍ය ෆවුචි අතරේ මත ගැටුම් පවතින බවත් එම මත ගැටුම් දුරදිග යෑම හේතුවෙන්, ධවල මන්දිරයෙන් ෆවුචිට දිගින් දිගටම විවේචන එල්ල වන බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 12 වැනිදාය.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය ගැන බියක් ඇති කරගත යුතු නැති බවත්, රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍ය නැති බවත්, මාස්ක් පැලැදීමට අවශ්‍ය නැති බවත් ජනපති ට්‍රම්ප් ජනතාවට පවසද්දී, මාස්ක් පලඳින ලෙසත්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින්, හැකිතාක් නිවෙස්වලට වී සිටින්නැයි උපදෙස් දුන්නේ වෛද්‍ය ෆවුචි ය. ඒ, ෆවුචි ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ ‘කොවිඞ් 19’ කාර්ය සාධක බලකායට සම්බන්ධ කළ අවස්ථාවේදීය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS