වෛද්‍ය විද්‍යා භෞතික විද්‍යා නොබෙල් තෑගි ඇමෙරිකාවට



වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙම වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාන විද්‍යාඥයන් තිදෙනකුට අතරේ සමව බෙදී යන බව නොබෙල් කමිටුව පසුගිය දෙවැනිදා නිවේදනය කළේය.

ජීවීන් අවදිව සිටින සහ නිදා ගන්න කාලය අයත් ‘චක්‍රය’ මෙහෙයවන ස්වභාවික ක්‍රියාවලිය හෙවත් ‘ජෛව ඔරලෝසුව’ සම්බන්ධයෙන් කරන ලද සොයාගැනීම් සහ පර්යේෂණ සම්බන්ධයෙන් ජෙෆ්රි සී. හෝල්, මයිකල් රොස්බෑෂ් සහ මයිකල් ඩබ්. යන්ග් යන ඇමෙරිකන් ජාන විද්‍යාඥයන්ට වෛද්‍ය විද්‍යාව සඳහා මෙවර නොබෙල් ත්‍යාගය පිරිනැමෙන බව නොබෙල් කමිටුව හේතුපාඨ වශයෙන් පැවැසීය.

විද්‍යාඥ ජෙෆ්රි සී. හෝල් 72 වියෙහි පසුවෙයි. මයිකල් රොස්බෑෂ් සහ මයිකල් යන්ග් පිළිවෙළින් 73 සහ 68 වැනි වියෙහි පසුවෙති. වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 9 (එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1) මොවුන් තිදෙනා අතරේ සම සමව බෙදී යනු ඇතැයි ද පැවැසෙයි. එමෙන්ම නම සඳහන් කරන ලද නොබෙල් පදක්කම් මොවුන්ට හිමිවෙයි.

මේ අතර භෞතික විද්‍යාව සඳහා මෙම වසරේ නොබෙල් ත්‍යාගය ද ඇමෙරිකන් විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව අද (3) සවස නිවේදනය කළේය.

ඔවුන් තිදෙනා නම් බැරී බැරිෂ්, කිප් ත්‍රෝන් සහ රීනර් වෙයිස්ය. මෙවර භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය වෙනුවෙන් මොවුන් තිදෙනා තෝරා ගෙන ඇත්තේ විශ්වයේ ගුරුත්ව තරංග සම්බන්ධයෙන් කළ පර්යේෂණ හේතුවෙනි.

විශ්වයේ ගුරුත්ව තරංග සහ කළු කුහර සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළේ මහා විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්ය. ගුරුත්ව තරංග න්‍යායයක් පමණක් යැයි කාලාන්තරයක් විශ්වාස කෙරුණි. ගුරුත්ව තරංග සැබෑවක් බව අනාවරණය වූයේ පසුගිය 2016 වසරේදීය.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS