වේල්ලක් කැඩී 6 ක් මරුට: 18 ක් අතුරුදන්



නෙකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වේල්ලක් පුපුරා යෑමෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, ප්‍රචණ්ඩ ජල පහරට හසුවුණු 18 ක් අතුරුදන් වූහ.

ඉරිතලා පුපුරා ගියේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රත්නගිරි දිස්ත්‍රික්කයේ පිහිටි වේල්ලය. වේල්ල පුපුරා යෑමත් සමඟ පහළ පිහිටි ගම්මාන හයක් මුළුමනින්ම ජලයෙන් යටවිය. නිවාස 12 ක් සහ වාහන 20 ක් සැඬ ජල පහරට හසුවීමෙන් ගසාගෙන ගිය බව ද පැවසෙයි.

පුපුරා ගිය වේල්ල වසර 19 ක් පැරැණි එකකි. එය නිසි ලෙස නඩත්තු කර නොතිබුණි. කෙසේ නමුත් මහ වැසි සමඟ වේල්ලේ ජල මට්ටම ඉහළ යද්දී, එය පුපුරා යෑමේ අවදානමක් පවතින බව බලධාරීන්ට වැටහිණි. ඒ අනුව, පහළ ගම්මාන වහා හිස් කිරීමට පියවර ගැණින. එහෙයින්, සිදුවීමට ඉඩ තිබුණු මහා ජීවිත හානියක් වළක්වා ගැනීමට හැකි වුණු බව ජාතික ආපදා කළමණාකරණ නිලධාරීහු කියති.

වේල්ල පුපුරා යද්දී සැඬ රළ පහරට හසුවීමෙන් ගසාගෙන ගිය පුද්ගලයන් සෙවීමට නාවික හමුදාව සහ ඩ්‍රෝන යානා යෙදවුණු බව ද පැවැසෙයි. වේල්ල පිහිටා ඇත්තේ මුම්බායි නුවරට කිලෝ මීටර් 275 ක් දුඑරින් යැයි ද පැවැසෙයි.

මුම්බායිහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS