වෙනීසියේ හදිසි තත්ත්වයක්



වෙනිසියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ පියවර ගත්තේය. පාවෙන නගරයක් ලෙස ප්‍රකට, සංචාරක ආකර්ෂණයක් ද වන වෙනීසිය උදම් රළ හේතුවෙන් මේ වනවිට  අඩි 6 (මීටර් 1.87) කින් ජලයෙන් යටවී ඇත.

වෙනිසිය යුනෙස්කෝ ලෝක උරුමයකි. ඉතාලි පුවත් සේවා ඊයේ (14) වාර්තා කළේ වෙනිසියෙන් සියයට 80 ක් ජලයෙන් යටවී ඇති බවය. වෙනිසිය ආද්‍රියාතික් මුහුදට මුහුණ ලා ලිහිටි කලපුවක කුඩා දූපත් සමූහයක් මත ඉදි කළ නගරයකි.

වෙනීසියේ සියලු ගොනැගිලි අඩක් ජලයෙන් යටවී පවතී. කෙසේ නමුත් පසුගිය දා ඇද හැලුණු මහ වැසි සහ තද සුළං හේතුවෙන් උදම් රළ නගරයට කඩා වැදුණි. ඉතාලි අගමැති කොන්තේ ජලයෙන් යටවුණු වෙනීසියේ සංචාරය කරමින් වෙනීස් නගර බලධාරීන් සහ පොලිසි නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන වෙනීසිය ඉතාලියට කොතරම් වටිනවාදැයි තමන්ට වැටහෙන බවත්, නගරයට අවහ්‍ය සහන ලබා දීමට මූල්‍ය ප්‍රතිපාදන වහා ලබා දෙන බවත් නගර වැසියන්ගේ සහායට හමුදාව යොදවන බවත් අගමැති කොන්තේ පවසා ඇත.

වෙනීසිය ලොව ප්‍රධාන පෙළේ සංචාරක ආකර්ෂණයක් වන හෙයින්, නගර වැසියන්ගේ ජීවනෝපාය රැඳී ඇත්තේ සංචාරක කර්මාන්තය සමඟය. ජල ගැලීම් හේතුවෙන් සංචාරක කටයුතු මේ වනවිට අඩපණ වී තිබේ. හෝටල්, වෙළෙඳසැල් සහ අවන්හල් ද ජලයෙන් යටවීමෙන් වසා දමා ඇත.

වෙනිසියට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින් ඉතාලි අගමැතිවරයා කියා සිටියේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වන්දි මුදල් ලබා දීමට රජය පියවර ගන්නා බවය. ඉදිරියට වෙනීසිය ආරක්ෂා කර ගැනීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ද අගමැති කොන්තේ වැඩිදුරටත් පවසා ඇත.

වෙනීසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS