විරෝධතාකරුවන් මැදට ලොරියක් කඩා වැදිලා



ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ තිරුපති කෝවිල නගරයේ පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නියැළෙමින් සිටි පිරිසක් අතරට හදිසියේ ලොරියක් කඩා වැදීමෙන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 24 ක් තුවාල ලැබූහ.

මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ කුඩා දරුවන් කිහිප දෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

ලොරිය රික්ෂෝ රථ 10 ක් ද පටවා ගෙන හයිද්‍රාබාද් සිට චෙන්නායි බලා ධාවනය වූවකි. එය අධික වේගයෙන් පැමිණ ඇති අතර, රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වී, පොලිසිය අසල විදුලි කණුවල ගැටී ඇත.

මියගිය 13 දෙනාගෙන් 11 දෙනකුම මියගොස් ඇත්තේ බිමට වැටුණු විදුලි රැහන් ස්පර්ශවීමෙන් යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ලොරිය විදුලි කණුවල හැපුණු අවස්ථාවේදී රියැදුරු සහ සහායක පිටතට පැන එතැනින් පලා ගොස් ඇතැයි ද වාර්තා වේ.  ඔවුන් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇතැයි එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබේ.

ලොරියේ රියැදුරු බීමතින් සිටින්න ඇතැයි පොලිසිය සැක කෙරේ.

පොලිසිය ඉදිරිපිට විරෝධාවට එක් වී සිටියේ තිරුපති කෝවිල සහ ඒ අවට පදිංචි වැසියන් පිරිසකි. තමන් නිරන්තරයෙන් මැර කල්ලිවල අඩන්තේට්ටම්වලට ලක්වන බවටත් පොලිසිය ඒ ගැන නිහඬ ප්‍රතිත්තියක් අනුගමන කරන බවටත් චෝදනා කරමින් විරෝධතාව පැවැත්වුණු බව ද වාර්තා වේ.

අනතුර සම්බන්ධ සිද්ධිය සැලවීමෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්වුණු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS