විරෝධතා මැද ට්‍රම්ප් බෙල්ජියමේ



ඉතාලි සංචාරය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ඇතුළු පිරිස බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පැමිණියහ.

‘ට්‍රප්ම් එපා’ යැයි කෑ කෝ ගසමින්, ට්‍රම්ප්ගේ බෙල්ජියම් සංචාරයට විරෝධය පළ කරමින් 35,000 කට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් බ්‍රසල්ස් අගනුවරට රැස්ව සිටියාහ. එහෙයින්, ට්‍රම්ප් ඇතුළු පිරිවරට විශේෂ ආරක්ෂාවක් සැපැයීමට බ්‍රසල්ස් ආරක්ෂක අංශ සහ බෙල්ජියම් රජයට සිදුවිය.

බ්‍රසල්ස් නුවරට පැමිණි ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පිළිගනු ලැබුවේ බෙල්ජියම් අගමැති චාල්ස් මයිකල් සහ ඔහුගේ පෙම්වතිය ඇමෙල් විසිනි.

බ්‍රසල්ස් නුවර අවුල් ජාලයක් බවත්, ත්‍රස්තවාදීන්ගේ තෝතැන්නක් බවත් ට්‍රම්ප් විසින් හඳුන්වා දෙනු ලැබ තිබුණි. බෙල්ජියම් වැසියන්ගේ පමණක් නොව අගමැති චාල්ස් මයිකල්ගේ ද විරෝධයක් ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයට එල්ල විය. කෙසේ නමුත් යළි හොඳ හිත ඇති කර ගැනීමට ජනපති ට්‍රම්ප් සහ බෙල්ජියම් අගමැතිවරයා සමත් විය.

ට්‍රම්ප්ගේ මෙම බ්‍රසල්ස් සංචාරයේ ප්‍රධාන අරමුණ නේටෝ හෙවත් උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානයේ ප්‍රධානීන් පමණක් නොව, යුරෝපා සංගමයේ ප්‍රධානීන් හමුවී ට්‍රම්ප් සාකච්ඡා පැවැත්වීමය.

මත ගැටුම් පැවැතිය ද ඇමෙරිකන් ජනපතිවරයා සමඟ යහපත් සබඳතා ඇතිකර ගැනීමට තමන්ට හැකි වුණු බව නේටෝ ප්‍රධානීන් පමණක් නොව යුරෝපා සංගමය ද පසුව පවසා තිබුණි.

නේටෝවට ඇමෙරිකාව ලබා දෙන ආධාර මුදල් කප්පාදුවක් කරන බව ජනපති ධුරය භාරගත් අවස්ථාවේදී ට්‍රම්ප් පවසා තිබුණි. මත ගැටුම් නිර්මාණය වූයේ එහෙයිනි. ට්‍රම්ප් සමඟ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ද සහභාගී විය.

ඇමෙරිකා ජනාධිපති ඩෙටානල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ඉන්පසු බෙල්ජියම් පිලිප් රජු සහ මැටිල්ඬේ රැජින හමුවී සුහඳ කතාබහක නියැලුණාහ. බ්‍රසල්ස් නුවර රජ මැදුරේ දී රාජකීකය යුවළ සහ ට්‍රම්ප් යුවළ හමුවීම සිදුවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී./ඬේලිමේල්)

 


RECOMMEND POSTS