විරුද්ධව ඡන්දය දුන්නොත් බලාගනෙයි



ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට තමන් ගත් තීරණය අභියෝගයට ලක් කරමින්, ඊට විරෝධය පළ කරමින්, ඇමෙරිකාවට එරෙහිව සම්බාධක පැනැවීමක් සිදු කිරීමට කිසියම් රටක් උත්සාහ ගන්නේ නම්, එම රටට ලබා දෙන සියලුම මූල්‍යාධාර නවත්වන බවට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (21) තර්ජනය කළේය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජනාධිපති ට්‍රම්ප් පිළිගැනීමත් සමඟ ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග කලාපයේ නව අර්බුදයක් නිර්මාණය වී තිබේ.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර යැයි ට්‍රම්ප් පිළිගත්තේ පසුගිය 6 වැනිදාය. එදා සිට මේ දක්වාම ඊශ්‍රායල පලස්තීන ගැටුම් දිගින් දිගටම ඇවිළෙමින් පවතී. ට්‍රම්ප් ගත් තීරණයෙන් සතුටට පත් වී සිටින්නේ ඊශ්‍රායලය පමණි.

සෙසු සෑම රටක්ම ට්‍රම්ප්ට දොස් නගා ඇත. ඒ අතර ඇමෙරිකාවට හිතවත් බටහිර රටවල් වන එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය පමණක් නොව චීනය ද සිටී.
මුස්ලිම් සහ අරාබි රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ ඇමෙරිකා ජනපති ගත් මෙම තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටත්, එම තීරණයට විරෝධය දක්වමින් ඇමෙරිකාවට එරෙහිව සම්බාධක පැනැවීමටත් රැස්වී සාකච්ඡා කළ යුතු බවය.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය පළ කිරීමක් සහ ඇමෙරිකාවට සම්බාධක පැනැවීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ මහ සමුළුවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වෙයි.

‘ඕනෑ කෙනෙක් අපට (ඇමෙරිකාවට) විරුද්ධව ඡන්දය දුන්නාට කමක් නැහැ. අපෙන් මිලියන ගණනින් බිලියන ගණනින් ආධාර මුදල් ගන්න රටවල් බෙහොමයක් සිටිනවා. කමක් නැහැ. කවුද අපට විරුද්ධ වෙන්නේ සහ විරුද්ධ නොවන්නේ අප බලන් ඉන්නවා. අපට විරුද්ධව ඡන්දය දෙන්න. ඒක ඒ අයට අවාසියක්. අපට වාසියක්. අපට විරුද්ධ වෙන කිසිවකුට අපි මුදල් ආධාර දෙන්නේ නැහැ. එතකොට ඒක අපට ලොකු ඉතිරියක්’ යැයි ට්‍රම්ප් පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකාව නියෝජනය කරමින් ඇමෙරිකා තානාපතිවරිය ලෙස කටයුතු කරන්නේ නිකී හේලිය. එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ඇමෙරිකාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්නේ කවුරුන්දැයි පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි ට්‍රම්ප් දැනුම් දී ඇති බව නිකී හේලි පවසා ඇත.

ලෝක බලවතා වුවත් ජනපති ට්‍රම්ප් මේ අයුරින් සෙසු රටවලට තර්ජනය කිරීම කිසිසේත් උචිත නොවන බව ඇමෙරිකානුවන් බහුතරයකගේ අදහස බව ඇමෙරිකන් පුවත් සේවා කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS