විනිසුරු මඬුල්ල ඉදිරියේ ට්‍රම්ප් පෙනී සිටින්නේ නෑ



ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට අදාලව විමර්ශනයක්, ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විශේෂ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැත්වෙයි. එම විනිසුරු මඬුල්ල හමුවේ පෙනී සිටින්නැයි ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට කැඳවීමක් ලැබී ඇති නමුත්, ධවල මන්දිරය කියා සිටියේ, විනිසුරු මඬුල්ල හමුවේ පෙනී සිටීමට ට්‍රම්ප්ගේ කිසිදු අදහසක් නොමැති බවය.

ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැරැසෙන්නේ, ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්‍රසයේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. කොංග්‍රසය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය ලෙස කොටස් දෙකකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය සතුවය.

සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුව ඇත. ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට සූදානම් වන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකා නැන්සි පොලෝසිගේ මැදිහත් වීමෙනි.

ලබන වසරේ එනම් 2020 දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි. ට්‍රම්ප්ට අභියෝගයක් විය හැකි ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයෙකු වන්නේ ඔබාමා පරිපාලනය සමයේ උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ ජෝ බයිඩන්ය.

ජෝ බයිඩන් උප ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ පුතා හන්ටර් බයිඩන්, යුක්රේනයේ සවභාවික වායු සමාගමක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය. මේ සමාගම නීති විරෝධී කටයුතුවල නියැලුණු බවටත්, දූෂණ රැසකට සම්බන්ධ බවටත් චෝදනා එල්ල වී ඇති හෙයින් යුක්රේන රජය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹීය. මෙම විමර්ශන කටයුතුවලට ජෝ බයිඩන් මැදිහත් වුණැයි පැවසෙයි. ඔහු යුක්රේන එවකට පැවැති රජයට බලපෑම් කළ බවට ද චෝදනා එල්ල වී ඇත.

අද වනවිට යුක්රේනයේ ජනාධිපති ධුරය හොබවන්නේ ව්ලොදිමීර් ස්ලෙන්ස්කි ය. පසුගිය ජූලි 25 වැනිදා, ජනපති ධුරයට පත්වුණු ස්ලෙන්ස්කි ට සුබ ප්‍රාර්ථනා කරමින් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඔහුට දුරකතන ඇමතුමක් දුන්නේය. එහිදී, ට්‍රම්ප්, යුක්රේන ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වායු සමාගමේ සිදුවීම සම්බන්ධයෙන් ජෝ බයිඩන්ගෙන් එල්ල වුණු බලපෑම් සෙවීමට විමර්ශනයක් ආරම්භ කරන ලෙසය. එසේ නොකරන්නේ නම්, ඇමෙරිකාවෙන් යුක්රේනයට ලැබෙන ‘ආධාර’ අඩු කරනවා යැයි ට්‍රම්ප් තර්ජනය කළේ යැයි ද පැවැසෙයි.

මේ දුරකතන කතාබහ කොංග්‍රසයට අනාවරණය විය. ජෝ බයිඩන් සම්බන්ධයෙන් ට්‍රම්ප් විමර්ශනයක් ඉල්ලා ඇත්තේ, 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වනඔහුට ‘මඩ ගැසීමට’ ය.

දේශපාලනික වාසි අපේක්ෂාවෙන්, ප්‍රතිවාදි අපේක්ෂකයකුට එරෙහිව, විදෙස් රාජ්‍ය නායකයකුගේ සහාය ඉල්ලීම වරදක් බව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පෙන්වා දෙයි. ඒ අනුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා පොලොන්ස්කි ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට කටයුතු කළේය. දෝෂාභියෝගයට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත් වෙයි.

දෝෂාභියෝග විමර්ශන කටයුතු ආරම්භ වූ අවස්ථාවේ සිට ජනපති ට්‍රම්ප් කියා සිටියේ තමන් ඊට කිසිදු ආකාරයකින් සහාය ලබා නොදෙන බවය. විශේෂ විනිසුරු මඬුල්ල හමුවේ පෙනී නොසිටීමට ට්‍රම්ප් තීරණය කර ඇත්තේ ඔහුගේ නීතීඥවරුන්ගෙන් ලද උපදෙස් අනුව යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS