විදෙස් ආධාර ඕනෑ නෑ



ජල ගැලීම් සහ නානයෑම්වලින් විපතට පත් වුණු කේරළ ප‍්‍රාන්තයට විදෙස් ආධාර අවශ්‍ය නැති බවත්, විපතට පත්වූවන්ට අවශ්‍ය ආධාර ලබාදීම තමන්ට කළ හැකි බවත් ඉන්දීය මධ්‍යම රජය පවසයි.

මේ වනවිටත් අවශ්‍ය ආධාර කේරළ ප‍්‍රාන්ත වැසියන්ට ලබා දීම සිදු වෙමින් පවතින බව ද මධ්‍යම රජය අවධාරණය කර තිබේ. ‘කේරළ මහ ඇමැති ප‍්‍රමුඛ කේරළ ප‍්‍රාන්ත රජය ඉල්ලීමක් කළා විදෙස් ආධාර ලබා ගන්න.

ඒත් එසේ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය සියලූ ආධාර ලබා දීම මධ්‍යම රජය විසින් සිදු කරනු ලබනවා’ යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

තම ප‍්‍රාන්තයට විදෙස් ආධාර අවශ්‍ය යැයි කේරළ ප‍්‍රාන්ත මහ ඇමැති පිනරායි විජයාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දන්වා ඇත. මේ වනවිට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වෙසෙන ඉන්දියානුවන් එක් වී, ඉන්දීය රුපියල් කෝටි 700 ක මුදලක් කේරළ වැසියන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කර ඇත.

කටාර් රාජ්‍යය පමණක් නොව, මාලදිවයින පවා කේරළ වැසියන්ට ආධාර ලබා දීමට සූදානමින් සිටින නමුත් එම ආධාර ලබා ගැනීමට ඉන්දීය මධ්‍යම රජය මෙතෙක් අනුමැතිය දී නැති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.

මහ වැසි සමඟ ජල ගැලීම් සහ නායයෑම්වලින් කේරළ වැසියන් පීඩාවට පත් වූයේ පසුගිය අගෝස්තු 8 වැනිදා සිටය. ජල ගැලීම් හේතුවෙන් 237 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය. කේරළයට බලපෑ දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙය යැයි පැවැසිණි. මහ වැසි ඇද හැලෙන්නේ වසර 100 කට පසුව යැයි ද පැවැසෙයි. කේරලයේ ප‍්‍රාන්ත 14 ක් ඇති අතර එයින් 13 ක් මුළුමනින් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

එන්.ඞී.ටීවී.

 


RECOMMEND POSTS