විකෘති ප්‍රභේදය දරුණුයි



ඉන්දියාවේ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය, අනෙකුත් ප්‍රභේදවලට වඩා දරුණු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් අඟහරුවාදා නිකුත් වූ අතර එම සංවිධානය මෙලෙස අනතුරු අඟවා ඇත්තේ එම වාර්තාවේ ය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු එය ලොව පුරා ව්‍යාප්ත වූ අතර විවිධ රටවලින් වයිරසයේ විකෘති ප්‍රභේද හමුවිය.

මේ වනවිට ඉන්දියාව නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලකට මුහුණ දී සිටින අතර දෛනිකව වාර්තා වන ආසාදිතයන් සෑම දිනකම පාහේ තුන් ලක්ෂය ඉක්මවයි. එරටින් වාර්තා වන මරණ ගණන ද දෛනිකව තුන් දහස ඉක්මවයි.

මේ හේතුවෙන් රට දරුණු සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර රෝහල් පද්ධතිය කඩා වැටීමේ අවදානමකට පත්ව ඇත.

නව කොරෝනා වයිරසයේ මෙම නව ප්‍රභේදය බී.1.617 යනුවෙන් හැඳින්වෙන අතර ඉන්දියාව මුහුණ දී තිබෙන ව්‍යවසනකාරී තත්ත්වයට මෙම ප්‍රභේදය කොතරම් බලපෑමක් කර ඇත්දැයි තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

අනෙක් බොහෝ රටවල් මෙන් ඉන්දියාව ද වයිරස ආසාදිත සාම්පලවලින් පරීක්ෂාවට ලක් කරන්නේ සහ තවදුරටත් විමර්ශනය කර බලන්නේ ඉතා කුඩා සාම්පල ප්‍රමාණයක් බවත් එබැවින් ප්‍රමාණවත් තොරතුරු නොමැතිව නිගමනවලට පැමිණීම දුෂ්කර යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම අධ්‍යයනයෙන් පසුව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ඉන්දියාවේ තත්ත්වය දරුණු අතට හැරීමත් සමඟ රට ලොක්ඩවුන් කරන්නැයි එරට ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ.

‘ද නිව්යෝක් ටයිම්ස්’


RECOMMEND POSTS