වැඩිම මරණ ඇමෙරිකාවෙන්



ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති නව කොරෝනා වයිරසය හේතුවෙන් එක් දිනක් ඇතුළත ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම මරණ ගණන ඊයේ (4) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය.

‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් පෙරේදා එනම් සෙනසුරාදා දිනය තුළ පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 1,497කි. ඒ අනුව අද (5) පස්වරු 4 වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 312,254ක් විය. එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 8,500කි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව එරට කොරෝනා ආසාදනය වී සුව වූ ගණන 15,021කි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් සිටින රට බවට පත්ව ඇත්තේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ද, කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝක් ප්‍රාන්තයටයි. සෙනසුරාදා දිනයේදී පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 33,324ක් විය.

නිව්යෝක් ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 113,794ක් වන අතර එයින් ද ආසාදිතයන් 63,306ක් වාර්තා වන්නේ නිව්යෝක් නරගයෙනි. සෙනසුරාදා, එනම් පෙරේදා පමණක් නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 630 ක් වාර්තා වූ අතර එම ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන සමස්ත මරණ 2,624ක් දක්වා ඉහළ ගොස් ඇත.

අල්ජසීරා/ඩේලිමේල් ඇසුරිනි
ඡායාරූපය - රොයිටර්ස්

RECOMMEND POSTS