වසර 100 කින් බ්ලැක් පැන්තරයෙක් හමුවෙලා



මහ බළල් පවුලේ අතිශය දුර්ලභ සාමාජිකයකු වන ‘බ්ලැක් පැන්තරයකු’ (කළු දිවියා) කෙන්යාවෙන් දකින්න ඇති බවත්, බ්ලැක් පැන්තරයකු මෙලෙස දකින්න ලැබී ඇත්තේ වසර 100 කට පසුව බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

මෙම බ්ලැක් පැන්තරයා දකින්න ලැබී ඇත්තේ, කෙන්යාවේ ලයිකිපියා වනෝද්‍යානයෙනි. මෙම වනෝද්‍යානය සංචාරක ආකර්ශණයකි.

පැන්තරයා ඡායාරූපයට නැගීමට සමත් වී ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහු බර්කින්හැම්ෂයර්හි 35 හැවිරිදි විල් බර්ඩ් ලූකාස් නමැත්තාය.

විල් ලූකාස් වනාන්තරයේ අටවා තිබූ ස්වංක්‍රීය කැමරාවට බ්ලැක් පැන්තරයාගේ දසුන් හසුකර ගැනීමට හැකියාව ලැබී ඇත.

බ්ලැක් පැන්තරයා පමණක් නොව, විල් ද මේ වනවිට කාගේත් අවධානයට ලක් වී සිටින බව බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

සත්ව විද්‍යාඥයන් පැහැදිලි කරන අන්දමට, මෙම බ්ලැක් පැන්තරයා අවුරුදු දෙකක් පමණ වයසැති එකෙකි.

කළු පැහැයෙන් යුත් මෙම බිළාලයා දිවියාගේ ඥාතියෙකි. එසේ වුවත් ‘ලෙපර්ඩ්’ යනුවෙන් මේ බිළාලයා හඳුන්වන්නේ නැත. හඳුන්වන්නේ ‘පැන්තර්’ යන නමිනි.

දිවියා සේම අප්‍රිකවේත් පමණක් නොව ආසියාවේත් පැන්තරයන් ජීවත්ව සිටියේ යැයි පැවැසෙයි. මොවුන් ‘පැන්තරා පර්ඩුස්’ යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි.

ලතින් ඇමෙරිකාවේ (ඇමසන් වනාන්තරය ආශ්‍රිතව) ද බ්ලැක් පැන්තරයන් දකින්න ලැබී ඇත. මෙම පැන්තරයා ජගුවර් පවුලේ සාමාජිකයන් වන අතර සත්ව විද්‍යාත්මක වශයෙන් මෙම පැන්තරයා හැඳින්වෙන්​නේ ‘පැන්තෙරා ඔන්කා’ යන නමිනි. ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ජීවත් වන බිහිසුණු බිළාල සාමාජිකයා ජගුවරයාය.

බ්‍රිතාන්‍ය ලේඛක රුඩ්යාඩ් කිප්ලිංගේ ජංගල් බුක් නවකතාව ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටවල ‘බගිරා’ යනුවෙන් හැඳින්වෙන්නේ ද බ්ලැක් පැන්තරයෙකි.

එපමණක් නොව, අතිශය ජනප්‍රිය වූ මාවල් සුපිරි වීරයා බ්ලැක් පැන්තර්ගේ චරිතයට පාදක වී ඇත්තේ ද බ්ලැක් පැන්තරයෙකි. මාවල් බ්ලැක් පැන්තර් සේම, මෙම සැබෑ බ්ලැක් පැන්තරයා ද මේ වනවිට පුවත් මැවීමට සමත් වී ඇතැයි ද ‘ද සන්’ පුවත් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS