වයිසරයක් පැතිරිලා ක්‍රීඩකයෝ ලෙඩ වෙලා



දකුණු කොරියාවේ පැවැත්වෙන සීත ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩකයන් අතරේ වයිරස උණ රෝගයක් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

අතීසාරය, වමනය, දැඩි හිසරදය, සිරුරේ වේදනාව ආදිය උණ රෝගයේ ලක්ෂණය. ඔලිම්පික් බලධාරීන් මෙම රෝගය හඳුන්වා දී ඇත්තේ ‘නොරෝ වයිරස්’ යන නමිනි.

ඔලිම්පික් උලෙළට සම්බන්ධ නිලධාරීන්, සනීපාරක්ෂක සේවක සේවිකාවන් 86 දෙනකුටත්, ආරක්ෂක අංශ සාමාජිකයන් 1,200 දෙනකුටත් මෙම සවයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

වයිරස රෝගයට පළමුවෙන්ම ගොදුරු වූයේ ස්විස්ටර්ලන්ත ජාතික ක්‍රීඩකයන් දෙදෙනකු වන ෆැබීනා බෝෂ් සහ එලියාස් ඇම්බුවෙල් යැයි ඔලිම්පික් බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

රෝගී වූ සැණින් මෙම ක්‍රීඩකයන් දෙදෙනා ද කඩිනමින් රෝහල් ගත කෙරුණි. මේ වනවිට ස්විට්සර්ලන්ත කණ්ඩායමේ, තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුගෙන් ද රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇතැයි ඔලිම්පික් උලෙළ වෛද්‍යවරු පවසති.

රෝහල් ගත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම නොපමාව සිදු කරන බවත්, රෝගය පැතිර යෑම වැළැක්වීමට පියවර ගත් බවත් ඔලිම්පික් බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

කෙසේ නමුත් ස්විස්ටර්ලන්ත ක්‍රීඩක කණ්ඩායම නිවේදනය කර ඇත්තේ ඔවුන්ගේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය. රෝගී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගත් සැණින්, ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු කටයුතු කරති.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS