වයිරසයට 56 ක් බිලි: 2,000 ක් රෝහලේ



චීනයේ පැතිරෙමින් ලොවටම තර්ජනයක් වූ නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන අද (25) වන විට 56 දක්වා ඉහළ ගිය බවත්, චීනය පුරා රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 2,000 ක් බවත් වාර්තා විය.

චීන වැසියෝ ඔවුන්ගේ නව අවුරුදු උදාව සැමරුවේ ඊයේ (24) දිනයේය. අවුරුදු නිවාඩුව වෙනුවෙන්, චීන වැසියන් ගම්බිම් බලා පැමිණි බැවින්, වයිරසය තවත් පැතිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවූහ.

කොරෝනා වයිරස පවුලට අයත් යැයි පැවසෙන මෙම නව වයිරසය හිස එසවූයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නමැති නගරයෙනි. වයිරසය මිනිසුන්ට ආසාදනය වූයේ වවුලන් සහ නාගයන් හරහා යැයි සැක කෙරේ. ‘චයිනීස් කෝබ්‍රා’ නමැති නාගයන් වූහාන් වැසියන්ගේ ප්‍රියතම ආහාරයකි. වයිරසය මුහුදු ආහාරවලින් මිනිසුන්ට පැතිරුණු බවට ද සැකයක් පවතී.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ශ්වසන ආබාධ රෝග ලක්ෂණ වෙයි. රෝගී වූ පිරිස් මියගොස් ඇත්තේ නිව්මෝනියාවෙන් සහ වකුගඩු අක්‍රියවීමෙනි. මරණ සියල්ල වාර්තා වන්නේ චීනයෙන් පමණය. වයිරසය ආරම්භ වූ වූහාන් නගරය ඇතුළු නගර 10 ක් සම්පූර්ණයෙන් සීල් තැබීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් හදිසි රාජ්‍ය හමුවක් පැවැත්විණි. වයිරසය වේගයෙන් පැතිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා එහිදී දැඩි කනස්සල්ල පළ කළ බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත. රෝගය පැතිරීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි ද චීන ජනාධිපතිවරයා එරට සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අතර, වූහාන් නගරයේ රෝගීන් වෙනුවෙන් දින 6 ක් ඇතුළත කඩිනමින් විශේෂ රෝහලක් ඉදි කිරීමට චීන රජයේ අවධානය යොමු වී ඇත. රෝහල ඉදිකිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇත. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ පවතින වයිරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා චීන මහ බැංකුව වූහාන් නගර බලධාරීන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන 290 ක මුදලක් ලබා දී ඇතැයිද වර්තා විය. මෙම ණය මුදල ලබා දී ඇත්තේ හදිසි ණය මුදලක් ලෙස යැයිද චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පැතිර යන මෙම මාරක වයිරසය හේතුවෙන්, එරට ප්‍රධාන සංචාරක ස්ථාන වසා දැමීමටද චීන රජය පියවර ගෙන ඇත. චීන රජය මෙම පියවර ගෙන ඇත්තේ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමිනි. ඒ අනුව, චීන මහා ප්‍රාකාරය, ඩිස්නි උද්‍යානය, තහනම් නගරය පමණක් නොව මැක්ඩොනල්ඞ්ස් අවන්හල් පවා වසා දමා තිබේ. බටහිර රටවල් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ චීනයට යෑමෙන් වැළකී සිටින ලෙසටය. චීන සංචාරක කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේ වයිරසය හේතුවෙන් චීන සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවය.

බීජීංහිදීය (ඒ.එෆ්.පී./රොයිටර්)


RECOMMEND POSTS